(ගල්ගමුව - නිහාල් ජයවීර)
බිරිඳට නිවසේ ඇතුළු කාමරයක් ලබා දී තමාට ඉස්තෝප්පු කාමරයේ නිදා ගැනීමට සලස්වමින් බිරිඳත්, පුතත්, ලේලියත් තමන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බවට අසූපස් හැවිරිදි වයෝවෘද්ධ පියෙකු ගල්ගමුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

එයට අනුව දෙපාර්ශ්වය පොලීසියට කැඳවිය. විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් (48369) මහතා පැමිණිල්ල විභාගයට ගත්තේය. මොකක්ද මේ කුඩම්මාගේ සැලකිල්ලක් කියන්නේ කොස්තාපල්වරයා වයෝවෘද්ධ පියාගෙන් ඇසීය.
මගේ පුතා ගෙයක් හැදුවා. පුතයි. ලේලියි, මගේ බිරියයි ගේ ඇතුළේ කාමරවල ඉන්නවා. මට එළියේ කාමරයක් වෙන් කරලා. මට ඒ කාමරේ ඉන්ඩ බෑ. අලියෙක් ඇවිත් ගහයිද කවුද දන්නේ” වයෝවෘද්ධ පියා කියවාගෙන යන්නට විය.
“කාමරේට අලි ඇවිත් ගහන්නේ නෑනේ මාමේ” කොස්තාපල්වරයා කීය.
නෑ එහෙම හරියන්නේ නෑ. මට ඒ කාමරේ ඉන්ඩ බෑ. හදිසියේ අසනීපයක් හැදුණොත් කවුද ඒක දන්නේ. මුන්දෑ ළඟ හිටියොත් ඒ බව දන්නවා”යි අසූ හැවිරිදි වියේ පමණ පසුවන බිරිඳ දෙස බලා ඔහු කීය.
දැන් මාමා කියන්නේ මාමටත් ගේ ඇතුළේ කාමරයක් දෙන්න කියලා. එහෙම නැත්නම් නැන්දත් මාමා ඉන්න කාමරේට එන්ඩ ඕන කියලා නේද? කොස්තාපල්වරයා ඇසීය.
ආන් ඒකනේ මං කියන්නේ. ඔය ළමයට විතරයි ඒක තේරුණේ. මුන්ට ඒවා තේරෙන්නේ නෑ. මට කතා කර කර ඉන්ඩවත් කවුරුවත් නෑ. එක්කෝ අපට වෙනම ගෙයක් හදාගෙන යන්ඩ වෙනවා යි වයෝවෘද්ධ පියා කියන විට නිලධාරින්ට සිනාව පාලනය කර ගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත් වෙනම නිවසකට යාමට වයෝවෘද්ධ බිරිඳ අකැමැත්ත ප්‍රකාශ කළ අතර නිවස ඇතුළේ කාමරයක මුල්ලක හෝ ඇඳක් දමා පියාට එහි විසීමට ඉඩ ලබා දෙන ලෙස කොස්තාපල් අජිත් මහතා පැමිණිලිකාර පියාගේ පුතුට හා ලේලියට උපදෙස් දී දෙපිරිසම පිටත්කර යැවීය.

