අවුරුදු හයේ දානය දා ‘මනාපය’ ඉල්ලා ලිපියක් ඇවිත්


(මොරගොල්ලාගම සිසිර කැලේගම)
පුද්ගලයෙකු මියගොස් වර්ෂ හයේ දානමය පින්කම සිදුකරන අවස්ථාවේදී එම නිවසට අපූරු ලිපියක් ලැබීමේ පුවතක් පොල්පිතිගම නගරය අවට ගම්මානයකින් අසන්නට  ලැබුණි.


සිද්ධිය මෙසේය.


ඔහු විවාහක තිදරු පියෙකි. හදිසියේ රෝගීව ඔහු මියගියේය. ඒ මීට වර්ෂ හයකට ඉහතදීය.


 පවුලේ උදවිය එක්ව මියගිය තැනැත්තා වෙනුවෙන් වර්ෂයක් පාසා ඔවුනට හැකි පමණින් පින්පෙත් පැමිණීම ද කරති.


ඒ අනුව හය වැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් දවල් දානය පිළියෙළ කරමින් පන්සලට ගෙනයාමට පවුලේ උදවිය ඉකුත් දිනයක සූදානම් වෙන විටදී ලියුම් බෙදන්නා නිවසට පැමිණියේය.


ලිපිය ගත් ඔවුහු එය නිවසේ තබා සංඝරත්නයට දානය පිළිගැන්වීමට පරක්කු වෙන නිසා ලහි ලහියේ පන්සල වෙත පිය නැගූහ.
ඉන් අනතුරුව ආගමික වතාවත් සිදුකර නිවසට එන අතරවාරයේ මියගිය තැනැත්තාගේ බිරිය ආව ලිපිය කාටදැයි කියා කරුණු විමසුවාය.


ඒක තාත්තාගේ නමට තිබුණේ. දේශපාලකයකුගේ නාමය සඳහන් නිල මුද්‍රාවක් තිබුණා. දියණියක පිළිතුරු දුන්නාය.


 හයවැනි වර්ෂ පූර්ණ පින්කම නිමිත්තෙන් යම් ප්‍රබලයෙකු ආධාරයක් කර ඇතැයි යන්න ඔවුහු සිතූහ.


නිවසට පැමිණි ඔවුන් නොඉවසිල්ලෙන් යුතුව ලිපිය විවර කළේය.


එහි තිබුණේ මෙවැන්නකි.


“ඔබ මාගේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය මැතිවරණයට ලබාදුන් සහයෝගයට මාගේ ප්‍රණාමය පුදකරන අතර, මෙවර මැතිවරණය සඳහාද එවැනිම සහයෝගයක් අපේක්ෂා කරන බව පවසා නිදුක් නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමි” යනුවෙන් එහි සඳහන් කර තිබුණි.


ගෙදර ඉද්දිත් කිසිදාක දේශපාලකයින්ට කඩේ නොගිය මේ මිනිහා මැරිලා දේශපාලකයින් දිනවන්න අවුරුදු හයක් තිස්සේම කරන වැඩ මේ ඇමැති එවපු ලිපියෙන් අද අහුවුණා. දැක්කා නේද යැයි ඔච්චමට මෙන් දරුවන් හමුවේ කියමින් තම බිරිය ලිපිය පසෙකට විසිකර දැමුවාලු.