(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
ආරාධනයකින් තොරව අවුරුදු මත්පැන් සාදයකට ගිය තරුණයකු මුහුණදුන් අපූරු පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.

දුර බැහැර පෙදෙසක රැකියාව කරන මිතුරා මෙවර සිංහල අවුරුද්දට නිවසට පැමිණි නිවැසියන් සමඟ අවුරුදු සමරා අනතුරුව තම මිතුරන්ටද සංග්‍රහ කළයුතු යැයි තීරණය කළේය.
පසුව ඔහු තමන්ගේ කිට්ටුවන්තම මිතුරන්ට අවුරුදු පාටිය සඳහා නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ඒ අනුව මිතුරන් සියලුදෙනාම එම නිවසට පැමිණියේ කා-බී ප්‍රීතිවෙන අටියෙනි.
මෙම නිවස අසලින් ගමන් ගත් තරමක් බීමතින් සිටි අසල්වැසි ගමක තරුණයකුද මෙම අවුරුදු පාටියට කඩා වැදුණේ තවත් ෂොට් එකක් දාගන්නා අදහසිනි.
බීමත්ව සිටි නිවැසි මිතුරාද මොහු සාදරයෙන් පිළිගෙන සංග්‍රහ කරන්නට විය. ගෙහිමි මිතුරාගේ තරුණ බිරියද සැමියාගේ මිතුරන්ට විහිළු - තහලු කරමින් මහත් සතුටින් සංග්‍රහ කරන්නට විය.
අනාරාධිත මිතුරාද සැමියාගේ ළඟම මිතුරකු යැයි සිතු ගෙහිමි මිතුරාගේ බිරිය ඔහුට විහිළු කරමින් සංග්‍රහ කරන්නට විය. එයින් උද්දාමයට පත් අනාරාධිත මිතුරා ගෙහිමි තරුණ බිරියට බැල්ම හෙලන්නට විය.
සියල්ලෝම කා-බී- ප්‍රීති වෙමින් ගී ගයමින් නටන්නට වූයේ සාදය රසවත් කරමිනි. පදම වැරදී ගිය අනාරාධිත තරුණයා, ගෙහිමි තරුණ බිරිඳට බැල්ම හෙලීමද වැඩිවන්නට විය. කට ගැස්මක් රැගෙන ඔවුන් අසලට පැමිණි තරුණ බිරිඳ දුටු සැනින් ඔහු ඇයට අනවශ්‍ය විහිළුවක් කළේ ඇගේ අවධානය තමන් දෙසට යොමුකර ගන්නා අදහසිනි.
අනාරාධිත තරුණයාගේ බලාපොරොත්තු බිඳ දමමින් විහිළුව කන වැකුණු මිතුරකු ඔහුගේ කන රත්වන්නට සංග්‍රහ කළේය. මොවුන්ගේ ගුටි හුවමාරුව දුටු සෙසු මිතුරෝද සිද්ධිය කුමක්ද කියාවත් නොදැනම අනාරාධිත තරුණයාට හොඳ හැටි ගුටි බැට දුන්හ.
ගුටි - බැට සංග්‍රහයෙන් හොඳහැටි පහර කෑ අනාරාධිත මිතුරාට වෙරි සිදීගොස් අඳුරේම වැටි වැටී පලා ගියේලු.

