(වියලුව වාර්තාකරු)
තමුන් සේවය කරන ආයතනයෙන් ලද කෙටි නිවාඩුව දිගු නිවාඩුවක් බවට පත්කරගත් අපූරු ක්‍රමයක් පිළිබඳ පුවතකි මේ.
සිද්ධිය මෙසේය.

ඔහු අගනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සාමාන්‍ය සේවකයෙකි. අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගමට පැමිණි ඔහුට ලැබුණු කෙටි නිවාඩුව අවසන් වීම නිසා යළිත් සේවයට යාමට සිදුවූයේ ඔහු සේවය කරන ආයතනයේ නීති රීතිවලට මෙන්ම එහි හාම්පුතාගේ අණටද කීකරු වෙමිනි.
කලකින් ගමට පැමිණි ඔහුට දින දෙක තුනක නිවාඩුව අවසන් කර ගමෙන් පිටව යෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.
“තව දින දෙක තුනක් ඉඳලා යන්න,” බිරිඳ මෙන්ම දරුවෝ ද ඔහුට ඇවිටිලි කරන්නට වූහ.
ඔහු ඊට අපූරු උපායක් කල්පනා කළේය.
ගමේ රෝහල වෙත ගිය හෙතෙම උඩුකය නිරාවරණය කරගෙන රෝහලේ ඇඳක වැතිරුණේ සිය උපාය ක්‍රියාත්මක කිරීමේ පළමු අදියර වශයෙනි.
අනතුරුව ආයතනයේ හිමිකරුට වීඩියෝ දුරකතන ඇමතුමක් ගනිමින් හෙතෙම සිය රෝගී තත්ත්වය තහවුරු කරන ලද්දේ දැඩි අසාධ්‍ය තත්ත්වයක්ද මවා පාමිනි.
තම සේවකයා රෝගී වීම පිළිබඳ සිය කනගාටුවද ප්‍රකාශ කළ හාම්පුතා “එහෙනම් ලෙඩ සනීප උනාම එන්න” යැයි ඔහුට කියා සිටියේ සිය සේවකයාට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කරමිනි.
හාම්පුතා රැවටූ සේවකයා රෝහලින් පිටව ගියේ තමුන්ට උපකාර කළ රෝහලේ රෝගී පිරිසට සිය කෘතඥතාව පළකරමිනි.

