අවුරුදු කේක් පෙට්ටියෙන් කුණු වැලිතලප මතුවෙලා


  • රාස්සගල-සම්පත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ-නාලක ජේ හෙටිටිආරචිචි 

අවුරුද්දට  නිවෙසට නෑ ගම් ආ නෑනා  ඇතුළු  ඥාතියාට  සංග්‍රහ  කිරීම සඳහා කැඩූ   කේක් පෙටිටියේ නරක්  වුණ  වැලිතලපා  කැවිලි  තිබුණ  පුවතක්  බලන්ගොඩ   ප්‍රදේශයේ  ගම්මානයකින්  වාර්තා   විය.

බලන්ගොඩ  ප්‍රදේශයේ  පදිංචි  වී  සිටින  යුවළකගේ  බිරියගේ  නංගී  සහ  ඇගේ  සැමියා  පදිංචිව සිටියේ දුර බැහැර  ප්‍රදේශයකය.  වෙනදා මෙන් මෙවර සිංහල  අලු‍ත් අවුරුදු දිනට  මෙහි  පැමිණීමට  ඔවුන්ට  නොහැකි වී තිබුණේ හදිසියේ යෙ දී තිබුණ වැඩ කටයුතු කීපයක් නිසාය.

අවුරුදු දින අවසන්වී සති එකහමාරකට පසු ඔවුන් බලන්ගොඩ අක්කාගේ නිවෙසට මෙලෙස පැමිණියේ වෙනදා මෙන් අවුරුදු දා පැමිණීමට නොහැකිවීම ගැන කනස්සල්ල ද පළ කරමිනි. ටිකක්  කතා බහ කර සිටිය දී තේ එකක්  බීලම කතා  කරමු  කියා නංගි ඔවුන්ට  තේ සූදානම් කරන්නට පටන් ගත්තාය.

මෙම නිවසට අවුරුදු දිනවල ඥාති හිතවතුන් රැගෙන ආ කේක්, බිස්කට් පෙට්ටි තුන  හතරක් පමණක් ඉතිරිවී තිබුණි. 
නංගි තේ  වක්කරමින්  සිට  ඇති අතර  දැන්නම්  අවුරුද්දට හදපු කෑම ඔක්කොම ඉවරයි. කේක්  කාල  තමයි තේ  බොන්න  තියෙන්නේ කියා පවසමින් ඇයගේ සැමියා දුර බැහැර සිට පැමිණ නෑනා සහ ඇගේ සැමියාට තේ  සංග්‍රහ කිරීම සඳහා  නිවසේ පාර්සල් කර තිබුණ කේක්  පෙට්ටියක්  කැඩුවේය. 

එම  කේක්  පෙට්ටියද  අවුරුදු දිනවල ඥාති හිතවතුන් විසින් ගෙන එනු  ලැබූ   තෑගි බෝග  අතරින්  එකකි.

එය විවෘත කරද්දිම  දුර්ගන්ධයක් ද  වහනය විය. විවෘත කළ පසු දක්නට ලැබුණේ එහි වැලිතලප අසුරා  ඇති බවයි. ඒවා හොඳටම නරක්වී තිබිණි. අවුරුදු දිනවල නිවෙසට පැමිණි  හිතවතකු පරණ කේක්  පෙට්ටියක වැලිතලප  අසුරා  පාර්සල්  කර  ගෙනවිත්  දී ඇති  බවත්  එය දින දහයකට වැඩි කාලයක්  ගතවීම හේතුවෙන් කේක් පෙට්ටිය තුළ නරක් වී  ඇති බවත් ඔවුහු තේරුම් ගත්හ.