අවුරුදු 30ක් දීග කෑ බිරියගේ නම අමතක වෙලා


හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
කන්ද උඩරට ප්‍රධාන පෙළේ රෝහලක පැවැති තම මවගේ මරණ පරීක්ෂණයේ දී හදිසි මරණ පරීක්ෂකවරයා බිරියගේ නම අසද්දී නිරුත්තර වූ සැමියකු  බිරිඳගේ නම අසා ගැනීම සඳහා බිරිය සොයා රෝහල් භූමිය පුරා දිව යාමේ පුවතක්  කන්ද උඩරට ප්‍රදේශයෙන්  වාර්තා වෙයි.


 මෙම සිද්ධිය මෙසේය.


කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි වයෝවෘද්ධ  මවක්  කිසිදු බරපතළ රෝගී තත්ත්වයක් නොමැතිව සිටියදී  මිය යාමෙන් පසුව  හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රදේශයේ පොලීසියේ මැදිහත්වීමෙන්  ප්‍රධාන රෝහල වෙත  රැගෙන යනු ලැබීය.


එහිදී මරණය සමබන්ධයෙන් හදිසි මරණ  පරීක්ෂණය පැවැත් වූ මරණ පරීක්ෂකවරයා මිය ගිය මවගේ පුතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිද්දී ඔහුගේ බිරියගේ නම කුමක්දැයි විමසූ විට බිරියගෙන් නම අසා ගැනීම සඳහා ඔහු  රෝහල් භූමියේ එළියේ සිටි සිය බිරිය සොයා දිව යනු දක්නට ලැබිණ.


 වසර 30 කට වඩා වැඩි කාලයක්  විවාහ ජීවිතයක් ගත කර ඇති මොහු  තවමත් සිය බිරිඳගේ නම දන්නේ නැත්දැයි  එහි සිටි පිරිස ඔහු දෙස විමතියෙන් බලා  සිටියහ. කෙසේ නමුත් එළියට ගිය සැමියා ටික වේලාවකින්  සිය බිරිඳ ගේ නම අසා ගෙන  පැමිණ නැවත ප්‍රකාශය ලබා දීමට පටන් ගත්තේය.


මේ සිද්ධිය දුටු රෝහලට ගොස් සිටි ඥාතීන් මෙන්ම අසල්වාසීන් ද ගමට පැමිණි පසු රස කර කර කියනු අසන්නට ලැබිණ.