අවමඟුල් පෙරහරේ ‘මල් වඩම’ එවලේම ‘මල් ශාලාවේ’


මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
අවමඟුල් පෙරහරේ රැගෙන ගිය මල් වඩම් කිහිපයක් අතුරුදන්වීමේ සිද්ධියක් හේතුවෙන් ඇති වූ කලබගෑනියක් පිළිබඳව ගම්පහ දිසාවේ නගරයකින් වාර්තා වේ.


එය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවෙසක සිදුවූ අවමඟු‍ල් උත්සවයකි. ඥාති හිතවතුන් දහස් ගණනින් රොද බැදගත් තැනකි.


ශෝකය පළ කරන්නට ආ ඥාති හිතවතුන් ගෙනා මල් වඩම් තබන්නට වෙනම බිමක් වෙන් කරන්නට සිදුවූයේ  එහෙයිනි. රුපියල් දස දහස් ගණනින් වටිනා මල් වඩම් ද මේ අතර තිබිණි.


ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව දේහය සොහොන් බිම කරාගෙන ගියේ මහ පෙරහරකිනි. පෙරහරේ මුල මල් වඩම් ගෙන යන්නට පිරිස අතර පැවතියේ තරගයකි. අතේ පයේ බලය ඇති තරුණ පිරිස් රැගෙන පෙරහරට එක් වූයේ ලැසි ගමනින්ය. 


සොහොන් බිමේ දේහය තැන්පත් කිරීමෙන් පසු මල් වඩම් අවට තැන්පත් කරන අවස්ථාව උදා විය. නිවෙසේ තිබූ මල් වඩම් වලින් කිහිපයක් ඒ වන විට එහි නොතිබිණි. වැඩි වටිනාකමක් සහිත මල් වඩම් අතුරුදන්ව ඇති බව දක්නට ලැබිණි.


ඒවා රැගෙන ආ පිරිස් ද දක්නට නොවීය. පසුව කළ සොයා බැලීමේ දී ආරංචි වූයේ මල්ශාලා කිහිපයකට මේ මල් වඩම් යළි විකුණා ඇති බවයි. මත්කුඩුවලට හුරු වූ පිරිසක් මෙසේ පොරකා අවමඟුල් පෙළපාලියේ මුලටම එකතු වී මල් වඩම් රැගෙන යන අතර මගදී මග හැර යාමෙන් මෙම මල් වඩම් අතුරුදන් වී ඇති බව පසුව දැන ගන්නට ලැබිණ