අවතැන් කඳවුරේදී අවතැන්වූවන් සඳහා දුන් සහන මල්ලක තිබූ කාන්තා සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් මැදිවියේ පිරිමි පුද්ගලයකු කුඩා කොට්ට දෙකක් යැයි සිතා සුළං නොවැදීමට තමන්ගේ කන් දෙක දෙපැත්තට තබාගෙන නිදාගැනීමේ පුවතක් බුලත්කොහුපිටියේ අවතැන් කඳවුරකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පසුගිය කාලයේ සිදුවු නායයෑම් නිසා බුලත්කොහුපිටිය ප්‍රදේශයේ විශාල පිරිසක් අවතැන් වූහ. බලධාරීහු නායයෑමේ අවදානමක් පවතින ප්‍රදේශ හඳුනාගෙන නායයෑමේ අවදානමකට ලක්ව සිටින ජනතාව එම ස්ථානවලින් ඉවත් කර ඔවුන් අවතැන් කඳවුරුවල රැඳවීමට කටයුතු කළේය. පසුව එම පිරිසට අවශ්‍ය ආහාර පාන, සහන මලු සියලුම අවශ්‍ය දෑ ලබාදීමට පරිත්‍යාගශීලීන් හා රජය කටයුතු කළේය.
එම අවතැන්වූවන් සඳහා නිලධාරීහු පිරිසක් මහජනතාව විසින් ලබාදුන් සහන මළු එක්තරා අවතැන් කඳවුරකදී බෙදාදීමට කටයුතු කළහ. බෙදාදුන් එක් මල්ලක තිබී සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් වැරදීමකින් පිරිමි පුද්ගලයකු අතට පත්විය. මෙම සිද්ධිය වූ දින රාත්‍රි වැසිබර කාලගුණයක් විය. ටිකක් සීතල වැඩිපුර ඇඟට දැනෙන්නට විය. අර පුද්ගලයා තමන්ට ලබාදුන් සහන මල්ල පරීක්ෂා කර බැලීමේදී කුඩා පැකට් දෙකක් දුටුවේය.
“අනේ නියමයි පොඩි කොට්ට දෙකක් ඒක සීතලට මරු යැයි කියමින්” ඒ පැකට් දෙක තමන්ගේ කන් දෙපැත්තට තබාගෙන සීතල ඒම වළක්වාගැනීමට අත් දෙකෙන් තදකරගෙන නිදා ගත්තේය. පසුදා අවදි වී ඊයේ රෑ සීතල හොඳටම නේද මට පොඩි කොට්ට දෙකක් හම්බවුණා. ඒ දෙක තියාගෙන නිදා ගත්තා යැයි කියමින් අර පැකට් දෙක තමන්ගේ අසල්වාසී පුද්ගලයෙකුට පෙන්වීය.
එම පුද්ගලයා කරුණු පැහැදිලි කර දීමෙන් පසු අර පුද්ගලයා කර කියා ගන්නට දෙයක් නැතිව බිම බලා ගත්තාලු.
(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර සහ සීදුව විශේෂ ප්‍රසාද් මුතුකඩ)

