- උණවටුන – ඩී.ජී. සුගතපාල
ඔහු අම්පාරේ පදිංචි තරුණයෙකි. කොළඹ පෞද්ගලික අංශයේ ආයතනයක රැකියාවක් කළ අතර, ඔහුගේ පෙම්වතිය පදිංචිව සිටියේ ගාල්ලට ආසන්න ගමකය. දෙදෙනා හමු වූයේ ඉඳහිට වුවත්, ජංගම දුරකතනය ඔස්සේ නම් නිතරම හමු විය.
මේ අතර, ඉකුත්දා අලුයම ඔහු මී කිරි හට්ටි තුනක් ද රැගෙන අම්පාරේ සිට ගාල්ලට ආවේය. එසේ පැමිණියේ කිරි හට්ටි තුන පෙම්වතියට දී ඇය ද හමු වී කොළඹ යාමේ බලාපොරොත්තුවෙනි. ඔහු ගාල්ල බස් නැවැතුම්පොළෙන් බහිද්දී වේලාව අලුයම හතරයි තිහට පමණ ඇත.
පෙම්වතිය කියා තිබුණේ, ඇය ගාල්ල බස් නැවැතුම්පොළට එන බවය. ඔහු කිරි හට්ටි තුන ද එල්ලාගෙන බස් නැවැතුම්පොළේ කෙළවරකට වී සිටියේ ඇයගේ පැමිණීම බලාපොරොත්තුවෙනි. එහෙත් ඇය පැමිණිය යුත්තේ හිරු පෑයූ පසුවය.
මේ අතර, ඔහු අසලට පැමිණි තරුණයෙකි. තොරතුරු කතාබස් කරමින් සිටි දෙදෙනා මිතුරන් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.
“අපි යමු සමනල ග්‍රවුන්ඩ් එක පැත්තට” අලුතෙන් හමු වූ මිතුරා යෝජනා කළේය. අලුත් මිතුරා කොතරම් සුහදශීලි මිතුරකු වූයේ ද කියනවා නම්, කිරි හට්ටි තුනම ඔහු ඔසවා ගෙන ගියේය.
සමනල ක්‍රීඩාංගණය දෙසට ගිය අලුත් මිතුරා ඔහුට කිව්වේ, එහි සෙනග ගැවසෙනවා වැඩි බවය. එනිසා ආපසු ඔහු චීන කොරටුව මැද පාරට කැඳවාගෙන ආවේය. එහිදී කිරි හට්ටි තුන ඔහු අතට දුන් අලුත් මිතුරා ආරක්ෂාව සඳහා ඔහුගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකතනය තමාගේ අතට දෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහු කිසිම බියක් සැකක් නැතිව රුපියල් තිස් දහසක් සහිත මුදල් පසුම්බිය සහ රුපියල් තිස් පන් දහසක් වටිනා ජංගම දුරකතනය මිතුරා අත තැබුවේය.
එසේ දී මඳ දුරක් ඉදිරියට යන විට “ඔන්න පොලීසියෙන් එනවා, පොලීසියෙන් එනවා” කියමින් මිතුරා දිව ගියේය. මිතුරා දිව ගියේ කුමන දිසාවකට දැයි කියාවත් ඔහුට සිතා ගැනීමට බැරි විය. ඒ, ඔහු ගාල්ල නගරය ගැන එතරම් නොදන්නා නිසාය. එනිසා සැබැවින්ම ඔහුට සිදු වූයේ පොලීසියට යාමටය.
කිරි හට්ටි තුන ද එල්ලාගෙන ඔහු පොලීසිය සොයාගෙන ගොඩ වී සිද්ධිය කීවේය. ඒ වන විට හිරු පායාගෙන එමින් තිබිණ. පෙම්වතියට කීමට දැන් දුරකතනය ද නැත. එහෙත් පොලීසිය කාරුණික විය. එම අවස්ථාවේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරියා ඔහුගේ පෙම්වතියට ඇමතුමක් ගෙන දුන්නේය. ඇය එන බව කීවාය. ඒ අනුව ටික වේලාවකදී ඇය පොලීසියට ආවාය.
ඇය ඔහුගේ අත අල්ලාගෙන යමක් කීවාය. සමහරවිට “ඔයා ඔච්චර මෝඩ ද” යි ඇය ඇසුවා විය හැකිය. කෙසේ වෙතත් ඇයගේ දෑසින් කඩා හැළුණ කඳුළක් ඔහුගේ අතට වැටිණි.
ඇයගේ උදව්වෙන් ඔහු කොළඹ බලා යාමට පිටත් වූ අතර, ඇය අලුත් මී කිරි හට්ටි තුන ද රැගෙන හබරාදුව බසයකට ගොඩ වූවාය.
සියල්ල බලා සිටි පොලිස් නිලධාරියා පැවැසුවේ, නොහඳුනන ගැහැනුන්ට සහ පුද්ගලයින්ට නොරැවටෙන ලෙස කොතරම් දැනුවත් කළත්, මිනිසුන් ඒවා ගැන අවධානය යොමු නොකරන බවය.