අලුත් තාත්තා අමුතු ගැටයකට අහුවෙලා


(උණවටුන ඩී.ජී. සුගතපාල)

තරුණ මවක් දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහමෝදර රෝහලට ඇතුළත්විය. දරු ප්‍රසූතියෙන් පසු ගාල්ල නගරාසන්නයේ ලිපිනයකට ලියාපදිංචිවී ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට පියාට අවශ්‍ය විය.

ඒ බව දැනගත් රෝහලේ උපස්ථායකයකු ඔහුගේ උදව්වට ඉදිරිපත්විය.“හරි උදව්වක් හැටියට අපේ ගෙදර ලිපිනය දෙන්නම්. හැබැයි ඡන්ද නාම ලේඛනයට නම දාගන්න ග්‍රාම සේවකට රුපියල් විසිපන් දාහක් දෙන්න ඕන.”උපස්ථායකයා කීවේය. දරුවා ගාල්ල නගරයේ පාසලකට ඇතුළත්කර ගැනීමට තිබු අවශ්‍යතාව නිසාම පියා එයට එකඟවිය. පසුව පියා රෝහල් උපස්ථායකයා සමග බැංකුවට පැමිණ රුපියල් විසිපන් දහසක් ගෙන අලුත් ලිපිනය දැක ගැනීමට ගියේය. එසේ යනවිට ඉදිරියට පැමිණි පුද්ගලයෙකු පෙන්වා ඒ එම කොට්ඨාසයේ ග්‍රාම සේවක මහතා බව පවසා රුපියල් විසිපන්දහස දෙන ලෙස උපස්ථායකයා කීවේය.

කිසිදු පැකිළීමකින් තොරව පියා ග්‍රාම සේවක ලෙස පෙනී සිටි පුද්ගලයාට රුපියල් විසිපන්දහස දුන්නේය. ග්‍රාම සේවක ලෙස පෙනීසිටි පුද්ගලයාද කිසිදු බියක් සැකක් නැතිව එය සාක්කුවේ දාගත්තේ ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කරන බව පවසමිනි. පියා රෝහලට ගොස් දරුවා පාසලකට ඇතුළත්කර ගැනීම සඳහා ලිපිනයක් සොයාගත් බව බිරියටද කිවේ ඉතා සතුටිනි. පසුදින පියා දරුවා බැලීමට රෝහලට ගියවිට පෙරදින හමුවු ග්‍රාම සේවක මහතා තමාදැක දුව ගොස් සැඟවුණු අයුරු පියා දුටුවේය. තමා වංචාකාරයින් දෙදෙනෙකුගේ උගුලකට අසුව ඇති බව දැනගත් පියා දුවගොස් නතරවූයේ ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුජීව කුමාර මහතා හමුවේය.