අලුත් තාක්ෂණය යොදාගෙන පරෙවියන් උස්සන් ගිහින්


(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)

අඳුරේදී දහවල මෙන් පෙනෙන කණ්ණාඩියක් දමාගෙන පැමිණ රාත්‍රියේ පරෙවි කූඩුවකින් පරෙවියන් සොරකම් කරගෙන ගිය සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

විනෝදාංශයක් ලෙස තරුණයකු විවිධ වර්ගයේ වටිනා පරෙවියන් ඇතිකර තිබේ. උදේ නිවස ආසන්නයේම තනා තිබූ කූඩුවේ ඉබියතුරු කඩා දමා තිබෙන අයුරු දුටු තරුණයා ඒ ගැන සොයා බලද්දී පරෙවියන් පහළොවක් පමණ නැතිවී තිබෙනු දැක ඇත.

පරෙවියන් කූඩුවෙන් ඉගිල ගොස් නැති බවත් කිසියම් අයෙකු රාත්‍රියේ උන් සොරාගෙන ගොස් තිබෙන බව වටහා ගත් තරුණයා කූඩුව අසල නිවසක සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවක එදින දර්ශන පරීක්‍ෂා කරද්දී සිදුවී තිබූ දෙය වටහාගැනීම අපහසු වී නැත. අමුතු ආකාරයේ කණ්ණාඩියක් දමාගත් අයකු රාත්‍රී කුඩුවට ඇතුළු වී වටිනාම පරෙවියන් තෝරාගෙන මල්ලකට දමාගෙන පිටවී යන අයුරු එහි හොඳින් සටහන් වී තිබී ඇත.