අල්ලපු ගෙදර කැසට් යන්ත‍්‍රයේ හඬ ඉවසන්න බැරිව මිදුලට පැන නටලා


 

දිනපතා මහ හඬින් සින්දු දමන්නට එපා යැයි අල්ලපු නිවසේ අයට කොතරම් කීවත් අසන්නේ නැති තැන අඹු දරුවන් සමඟ තම නිවසේ මිදුලට බැස එම සින්දුවල රිද්මයට නටන්නට පටන් ගත් මහත්මයකු පිළිබඳව වයඹ ප‍්‍රදේශයෙන් වාර්තා වේ. වයඹ ප‍්‍රදේශයේ ගමක වැදගත්තාලයට ජීවත්වන මහත්මයෙකි. දරුවන් හා බිරිය ද ඉතාමත් යහපත් අය වෙති.

අසල්වැසියන් සමඟ ද ඔවුහු බොහෝ සුහදව දිවි ගෙවති. මේ අතර එම නිවෙසට යාබඳව පිහිටි නිවෙස්හිමියා අලූත්ම මාදිලියේ කැසට් යන්ත‍්‍රයක් මිලට ගත්තේ ඔහු සින්දු ඇසීමට මහත් ආශාවක් දක්වන්නෙක් වූ බැවිනි. කැසට් යන්ත‍්‍රය ගෙන ආ මුල් දිනයේ ලංකාවේ ජනප‍්‍රිය පැරණි ගායකයන්ගේ ගීත උදේ පටන් මධ්‍යම රාත‍්‍රිය වනතුරුම ඇසුනේ පළාතම දෙවනත් වන අයුරිනි.

පසු දින ද එම කැසට් යන්ත‍්‍රය පෙර ලෙසම ඉතා උස් හඬින් ක‍්‍රියාත්මක විය. තුන්වන දිනයේ ද තත්ත්වය එසේමය. හතරවන දිනය වනවිට යාබඳ නිවෙසේ වෙසෙන මහත්මයාට මෙය මහත් කන්දොස්කිරියාවක් බවට පත් විය. තවත් මෙම කැසට් යන්ත‍්‍රයේ හඬ ඉවසා සිටිය නොහැකි තැන මහත්මයා ගොස් යාබඳ නිවැසියන්ට සුහදව කීවේ හඬ ටිකක් අඩු කරන ලෙසයි. ඒ අනුව කැසට් යන්ත‍්‍රයේ හඩ මදක් අඩු වූ නමුත් පැය කිහිපයකින් නැවතත් පෙර ලෙසම හඬ වැඩිවිය. ඊට පසු දින ද මෙම තත්ත්වය වෙනසක් නොවිණි. අවසානයේ මහත්මයා තීරණයක් ගත්තේය.

මහත්මයා සහ බිරිය දරුවන් ද සමඟ මිදුලට පැන සියල්ලෝම නටන්නට පටන් ගත්හ. ඔවුහු නොකඩවා පැය කිහිපයක් මෙසේ නැටුවෝය. පසු දින ද යාබද නිවසේ කැසට් යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කරනවාත් සමඟම මිදුලටබට පිරිස කලින් දින මෙන්ම හූ කියමින් නැටුම පටන් ගත් අතර මෙය දුටු අසල්වැසියෝ එළියට පැමිණ බලා සිටියහ. දින කිහිපයක් මෙසේ සිදුවන විට යාබඳ නිවසේ කැසට් යන්ත‍්‍රයේ හඬ කෙමෙන් අඩු වූ අතර අවසානයේ අද වනතුරුත් උස් හඬින් නම් එය ක‍්‍රියාත්මක වූයේ නැත.