අරාබි රැකියාවකට ගිහින් ඇවිත් අමු ආනමාලූ කාලා


(ඉංගිරිය - නිමාලි කහවල)
අරාබියේ රැකියාවක නිරතව සිට සතියකට පමණ පෙර මෙරටට ආ මොහු පිටරට රැකියාවේ රස්නය  ඕනෑවටත් වඩා පෙන්වීමට ගිය අයෙකි.
ඉනිමඟක් නැතිව කුඩා ළමයකුට නැගිය නොහැකි තරමට උස යතුරුපැදියේ නැගී මොහු ගමේ අතුරු පාරවල්වල රවුම් ගැසුවේ තාර නැති පාරවල දුහුවිලි අවුස්සමිනි.


මෙසේ එන ගමනකදී පාර අයිනේ ආප්ප කඩයක හොඳට කහපැහැ ගැන්වී ඉදී තිබුණු කෙසෙල් කැනක් එල්ලා තිබෙනු දැක සිය යතුරුපැදිය හඬ නංවමින් නතරකළ මොහු ඉන් බැස කෙසෙල් කැන ළඟට ගොස් එහි ගෙඩියක් කඩාගැනීමට හැදූ නමුත් එය ලෙහෙසියෙන් ගැලවී නැත.


අඟල් 8 ක් පමණ දික්වූ එම ආනමාලූ ගෙඩිය අමාරුවෙන් කඩාගත් ඔහු තවත් එකක් කඩාගැනීමට යළි මහ සටනක යෙදුණි.


එය දුටු කඩය හිමි වයස්ගත කාන්තාව,


”හා හා දරුවෝ, ඔය ආනමාලූව අමුයි, අද උදෙයි ගත්තේ. අර ඉදිච්ච කෙසෙල් කැනක් අතන තියෙන්නෙ” යැයි පසෙක වූ කෙසෙල් කැනක් පෙන්වන විට ඔහු දෙවන ගෙඩියද කඩාගෙන හමාරය.


”එහෙනම් මේ හොඳට කහපාටවෙලා තියෙන්නේ” ඔහු මතුකළ ගැටලූව විය.


”කහපාටට පේන්නේ ඔය දරුවාගේ අව් කණ්ණාඩියේ පාටට වෙන්න ඇති.   ඕක ගළවලා බැලූවා නම්” ඒ මහලූ කාන්තාවගේ පිළිතුර විය.


තමන් පැළඳ සිටි අව් කණ්ණාඩියේ කහපාට වීදුරුවේ පාටින් මුළු පරිසරයම කහපැහැ ගැන්වී ඇති බව ඔහුට වැටහිණි.


මෙය දැක ගමේ තරුණයින් දෙතුන් දෙනෙක් එතැනට එනු දුටු ඔහු කෙසෙල් ගෙඩි දෙකේ ගණන ගෙවා යතුරුපැදියේ පිහිටෙන් විගසින් එම ස්ථානයෙන් මාරුවිය.