අරක්කු බොන්න රොටීතැටියත් උකස් තියන්න හදලා



වියලු‍ව වාර්තාකරු



නිවසේ ඉවුම් පිහුම් කටයුතු සඳහා තිබූ රොටි තැටියක් ඇතුළු ඇලු‍මිනියම් වළං කිහිපයක් උකසට තබා මත්පැන් පානය කිරීමට මුදල් සොයා ගන්නට තැත් කළ පුද්ගලයකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු තදින් මතට ඇබ්බැහි වූවෙකි. හම්බ කරන මුදලින් වැඩි කොටසක් වැය කළේ පවුලේ සුඛ විහරණය සඳහා නොව ඔහුගේ මත්පැන් වේල වෙනුවෙනි. කුලී වැඩක් හෝ නොලැබීම හේතුවෙන් මත්පැන් ටිකක් පානය කිරීමට ක්‍රමයක් නැතිව ඔහු දින ගණනාවක්ම ගත කළේ දැඩි අපහසුතාවයකිනි. මත්පැන් ටිකක් බොන්නට කීයක් හෝ හොයා ගන්නට මාන බැලු‍වත් බිරිඳගෙන් ද යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. එක්වරම ඔහුගේ ටිකිරි මොළයට ආවේ කදිම අදහසකි.
ඕනෑම දෙයක් උකසට තබා මුදල් ලබාදෙන ගමේ උකස්කරුවා ඔහුට මතක් වූයේ මේ අතර වාරයේය. ඒ වනවිට නිවසේ තිබූ බොහෝ දේ ඔහු උකස් කර තිබීම නිසා මෙදින උකසට තබන්නට හරි යමක් ද නොතිබිනි. අවසානයේ ඔහුට අසු වූයේ නිවසේ මුළුතැන්ගෙයි තිබූ රොටි තැටිය හා බත් උයන ඇලු‍මිනියම් වළඳක් ඇතුළු භාණ්ඩ කිහිපයකි.


 සියල්ල පොහොර උරයක දමාගත් ඔහු නැවතුනේ උකස්කරුවාගේ නිවසේය.
හිත හොඳ පුද්ගලයකු වූ උකස්කරුවා යකෝ ඔය තියෙන්නේ දරුවන්ට උයලා කන්න දෙන වළන් ටික නේද යැයි පවසමින් එම භාණ්ඩ රැගෙන මුදල් ලබාදීම පසෙකට තබා ඔහුගේ අසල්වැසි නිවසකට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ පෙර කී පුද්ගලයා නිවසේ තිබූ රොටී තැටියක් ඇතුළු භාණ්ඩ කීපයක් රැගෙන තමන් හමුවට පැමිණ මුදල් ඉල්ලන බව බිරිඳට පවසන ලෙසය.
අවසානයේ බලාපොරොත්තු සුන් කරගත් හෙතෙම උකස්කරුට ද බැණ වදිමින් සිය නිවස බලා පැමිණියේ රැගෙන ගිය රොටී තැටිය ඇතුළු භාණ්ඩ කිහිපය ද ආපසු රැගෙන එමිනි.