(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
සූදු කෙළිය (බූරු ගැසීම) සඳහා ගෙමැස්සන්ගේ උපකාරය ලබාගැනීම පිළිබඳව රසවත් පුවතකි මේ.

එය වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකිනි.
ඔහු ගමේ සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයායි. සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය පැවති සතියේ එක් දිනයක දහවල් ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේ ගම්මානයේම සමීප මිතුරකුගෙනි. මිතුරා දන්වා සිටියේ ගමේ එක්තරා නිවසක ජයටම බූරු ගැසීම සිදුවෙමින් පවතින බවත් ඒ ගැන සොයා බලා පොලීසියට දන්වන ලෙසත්ය.
ගමේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයකු ද වන මිතුරාගෙන් පණිවුඩය ලද සැනින්ම මහා ක්‍රියාත්මක වූ ඔහු සූදු කෙළිය කෙරෙන නිවස වෙත පියමැන්නේ පා ගමනින්මය. හොර රහසේ කාටත් නොපෙනෙන සේ එම නිවසේ පිටුපස පැත්තෙන් පැමිණි ඔහුට දැක ගන්නට ලැබුණේ නිවසේ සාලයේ පුටුවල හය හත් දෙනෙක් වාඩිවී දැඩි අවධානයකින් බිම බලා සිටින අයුරුය. එහි බූරු ගැසීමට පාවිච්චි කරන කාඞ් කුට්ටමක් දක්නට නොවීය.
මඳ වේලාවක් එහි රැඳීසිටි ඔහු එම නිවසේ පිටුපස පැත්තෙන්ම ආපසු සිය නිවස බලා යෑමට පිටත් වූයේ හොර රහසේම කිසිදු සද්දයක් නොකරමය.
ආපසු නිවස බලා යන අතරේ ඔහුට මුණ ගැසුණේ ඔහුගේ ඥාති සහෝදරියකගේ තරුණ පුතෙකි. ‘ආ මාමා කොහෙද පයින්ම ගියේ. මොකද මෝටර් සයිකලේ නැත්ද?’ තරුණයා විමසීය.
‘ළමයෝ අර අතන පේන ගෙදර පිරිසක් සූදු කෙළිනවා කියන මට ආරංචියක් ආවා. මම ඒක බලන්න ගියේ. එතන පිරිසක් ඉන්නවා. ඒත් සූදු කෙළින බවක් පේන්න නෑ. බූරු ගහන කාඞ් කුට්ටමක්වත් නෑ’ ඔහු පැවසීය.
‘මාමේ එතන මේ දවස් කීපයේම බූරු ගහනවා ජයටම. බූරු ගහන අලුත්ම ක්‍රමය මාමා දන්නේ නෑ. බූරු ගහන අය තමන්ගේ මුදල් නෝට්ටුව බිමට දානවා. පිරිස 10ක් හිටියොත් නෝට්ටු දහයක් බිමට වැටෙනවා. මුලින්ම මැස්සෙක් වහන නෝට්ටුව අයිති කෙනාට අනිත් සල්ලි කොළ සේරම ලැබෙනවා. ඒ විදියට තමා බූරු ගැසීම කෙරෙන්නේ. දැන් සූදු කෙළියට උදව් කරන්නේ ගෙමැස්සෝ.’ තරුණයා පැවසුයේ සිනාමුසු මුහුණෙනි.

