අමුතුම තාලේ ඇමක් දී කතකගේ කන කරට විදලා


නිවසේ ආරක්ෂිතව තැබූ ලක්ෂ ගණනක් වටිනා රත්රන් බඩු තොගයක් කිසිදු දවසක රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් නොකළ කතක් හදිසියේ පැමිණි දෙදෙනකුගේ අර්ථසාධක මුදල් කතාවකට රැවටී පූජා කළ පුවතක් වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය. 


ඉකුත් සතියේ දිවා කාලයේ තම නිවසේ ගතකර රාත්‍රි කාලය තම පුතකුගේ නිවසේ ගත කරන වැඩිහිටි කාන්තාවක්  සිටි නිවසට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු තමන් අර්ථසාධක අරමුදලේ  නිලධාරීන් දෙදෙනකු බවත් එම මව නමින් ඇති අර්ථසාධක මුදල් වසර ගණනාවකින් ගෙන නොමැති නිසා එම මුදල් ගතහැකි අවසන් දිනය අද බවත් එය මතක් කිරීමට පැමිණි බවත් පවසා ඇත. 


එහිදී එම මව තමන්ට එවැනි අර්ථසාධක මුදලක් තිබෙන බව නොදන්නා බවත් කිසිදු අයෙක් මෙපමණ දවසක් එවැනි දෙයක් පවසා නොමැති නිසා දැඩි කලබලයකට පත්ව  මේ බව තමන්ගේ පුතෙකුට දන්වා සිටීමට අවශ්‍ය බව පවසා ඇත. එහෙත් යතුරුපැදියෙන් ආ දෙදෙනා තමන්ට රැඳී සිටීමට කාලයක් නොමැති බවත් අර්ථසාධකයේ ඇති ලක්ෂ 5ක පමණ මුදල දවල් 12ට පෙර  වෙන්නප්පුව නගරයේ ඇති බැංකුවකින් ගතයුතු නිසා එම මුදල එම කාන්තාව එනතෙක් රඳවා ගැනීමට යම් මුදල් ඇපයක් තැබිය යුතු බවත් පවසා ඇත. 


මෙහි දී එම කාන්තාව නිවසේ මුදල් නොමැති බව පැවසීම නිසා වටිනා රත්රන් බඩු තිබේ නම් දෙන ලෙසත් බැංකුවට පැමිණි පසු එම භාණ්ඩ හා අර්ථසාධක මුදල් ලබාගත හැකි බවත් පැවසීම නිසා නිවසේ තිබූ රන් මාලයක් වළල්ලක් පැමිණි දෙදෙනාට ලබා දී තමන් ඉක්මනින් බැංකුවට එන බව පවසා යතුරුපැදියෙන් ආ දෙදෙනා පිටත් කර තිබේ. 


දහවල් 12ට ආසන්නයේදී නගරයේ තිබූ බැංකුවට ගොස් එහි නිලධාරීන් හමුවේ තමන්ගේ අර්ථසාධක මුදල් හා රන් භාණ්ඩ ගැන විමසූ විට එවැනි පුද්ගලයන් තමන්ගේ බැංකුවත් සමග සම්බන්ධයක් නොමැති බව පැහැදිලි කරදී එම මව ළඟම පිහිටි පොලිස් ස්ථානය කරා ගෙන ගිය බව වාර්තා විය. 
නිවෙස්වල තනියම සිටින කාන්තාවන්  හා මහලු පුද්ගලයන්  ඉලක්ක කරගෙන  වංචාකරුවන් පිරිසක් ක්‍රියාත්මක වෙන බවත් මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී සිටින ලෙසත් නීතිය රකින  නිලධාරියෙක් පැවසීය.

(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)