(බදුල්ලේ - පාලිත ආරියවංශ)
බමන මතින් තම මිතුරෙකු සමඟ ජනාධිපතිවරණ ඡන්ද ඔට්ටුවක් ඇල්ලීමට උත්සාහ කළ පුද්ගලයකු, බිරිදගේ නියෝගය මත නිවෙසින් පන්නා දැමීමේ සිද්ධියක් බදුල්ලෙන් වාර්තාවේ .
මෙම පුද්ගලයන් දෙදෙනා ප්රතිවිරුද්ධ පක්ෂ දෙකේ අපේක්ෂකයන්ට සහය දක්වන ළඟම මිතුරන්ය. මේ දෙදෙනාගෙන් එක් අයෙකුට මත්පැන් බෝතලයක් තෑගි ලැබී තිබිණි. ඔහු එයත් රැගෙන ගියේ මිතුරාගේ නිවසටය.
දෙදෙනා දේශපාලනය ගැන කතා කරමින් මධුවිත තොලගාමින් සිටියදී, බිරිඳ බයිට් එකක්ද සකස් කර දුන්නේ දෙදෙනා පක්ෂ දෙකක වුවත් කිසිම ගැටුමකින් තොරව ඡන්දය කිරීම ගැන සතුටුවෙමිනි.
මිතුරන් දෙදෙනාටම ටික වේලාවක් යනවිට පදම වැඩි වූයේ වෙනදා කිතුල් රා බිව් විලසට සීල් බෝතල් අරක්කුද පානය කිරීම නිසාය.
‘මම කියන්නද උඹට මේතරම් විශ්වාසනම් අපි ඔට්ටුවක් අල්ලමු. මට තියෙන වටිනාම වස්තුව මම ඔට්ටුවට අල්ලනවා. උඹත් උඹේ වටිනාම වස්තුව අල්ලන්න ඕන’.
‘මම දිනුවොත් එයා මට ඕන මම පැරදුනොත් මගේ එක්කෙනා උඹට දෙන්නම්’.
නිවෙස් හිමියා කියද්දී මේ දෙබස අසා සිටි බිරිඳට මලපැන්නේය.
ඇය දොර පොල්ල ද රැගෙන දෙදෙනා වෙත කඩපැන්නේය.
‘විලිලැජ්ජා නැද්ද මිනිහෝ..... බිව්ව කියල ඔහොමත් ජරා ඔට්ටු අල්ලනවද?
දැන් උඹල දෙන්නම මේ ගෙදරින් පිටවෙයල්ලා. ආයේ මේ පළාතෙවත් පස් පගාන්න එපා’ යැයි බිරිඳ කෑගසද්දී මිතුරන් දෙදෙනා පණ බයේ පස්ස නොබලා දුවන්නට විය.
නිවසින් පිටුවහල් කළ මිතුරාට අනෙක් මිතුරාගේ නිවසේ දොර ඇරුණද දැන් ඔහු කල්පනා කරන්නේ තම ජන්ද කාඞ්එක ගැනීම සඳහා නිවසට යන ආකාරයක් පිළිබඳවය.

