ඉරිදා දිනයේ කොළඹ මහ රෝහලේ බාහිර රෝගි අංශයට පැමිණි රෝගීන් සතියේ දිනවලට වඩා අඩුවිය. බොහෝ අය වායෝවෘද්ධ කාන්තාවන් සහ පිරිමින්ය. වාඩිවීමට අසුන් නොමැති සමහරුන් දොරටුව අසල බිත්තියට හේත්තු වී සිටියේ තම වාරය පැමිණෙන තුරුය.
එතැනට කඩා වැදුණු පෞද්ගලික ආරක්‍ෂක අංශයේ තරුණ ආරක්‍ෂක නිලධාරීයෙක්, “ඔතන කව්රුවත් ඉන්න එපා. වාඩිවෙන්න. වාඩිවෙන්න” යැයි ගෝරනාඩු කළේය. බිත්තියට හේත්තු වී සිටි රෝගීහු ඉවත් වූහ. වයෝවෘද්ධ කාන්තාවක් බිත්තියට හේත්තු වී නින්දේ පසුවූවාය.
ආරක්‍ෂක නිලධාරියා, “අම්මේ ඔයාටත් එක්ක තමයි කිව්වේ මෙතන ඉන්න එපා. මෙතැනින් ට්‍රොලි අරන් යනවා” යැයි කේන්තියෙන් පැවසීය. තිගැස්සී අවදි වූ කාන්තාව “පුතේ මේ ඉන්ජෙක්සන් එක දොස්තර මහත්තයාට දීලා විදගන්න ඕනේ” අහිංසකව පැවසුවාය. “ඒ වුණාට මෙතන ඉන්න එපා” ඔහු කීය. ඇය එතනින් ඉවත්වී ඈතට ගොස් බිත්තියකට හේත්තු වූයේ අසනීප ගතිය නිසා විය යුතුය. ආරක්‍ෂක නිලධාරියා ඇය අසලට පැමිණ “ඔතනත් ඉන්න එපා. ඔතන හිටියොත් නම් ඇතුළට යවන්නේ නැහැයි” පැවසුවේ ආවේගයෙනි.
“එයාට අම්මා කෙනෙක් නැතුව ඇති සල්ලි නැති අය තමයි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට එන්නේ. ලෙඩෙකුටවත් අනුකම්පාවක් නැති මිනිහෙක්” ළඟ සිටි අයෙකුට පැවසූ රෝගියෙක් ඔහුගේ අසුන ඇයට පිරි නැමීය. කඳුළු පිරි දෙනෙතින් යුතු කාන්තාව වාඩි වූවාය.
ආරක්‍ෂක නිලධාරියා හිතවත් තරුණියක් පිටවෙන දොරෙන් ඇතුළු කරගත්තේ රෝගීන් ද බලා සිටියදීය.
ක්‍රිස්ටෝපර් සීපියන්

