මොරගොල්ලාගම සිසිර කැලේගම
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
පවුලේ උදවිය ධනවතුන් වූ අතර ප්‍රදේශයේ කැපී පෙනීමට උත්සහා කරන පිරිසකි.
ඒ නිසා ඔවුන් නිතර ඇසුරු කරන්නේ ද ඊට ගැලපෙන උදවිය හා පමණි.
පවුලට සිටින්නේ එකම දියණියකි. ධනවත්කම ඇතත් රූමත්කමක් නැත. ඉගැන්වීමට කොතෙක් වියදම් කළත් අධ්‍යාපනයේ නිසි පල ලබා ගැනීමට ද නොහැකි විය. තරුණ වියද ඉක්මවා යමින් තිබිණි.
මවගේ ඉල්ලීමකට අනුව කපු මහත්වරුන් මැදිහත්ව වැදගත් පවුල් අතරින් ගෙනා යෝජනා සියල්ලම අසාර්ථක වූයේ දියණියට තිබෙන අපල උපද්‍රව නිසාය. පොරොන්දම් බැලීමේ දී ඒවා කිසිසේත් නොගැලපෙන නිසා මඟුලක් නොකරන ලෙසට නැකැත් මහත්වරු උපදෙස් දුන්හ.
එහෙත් පියාට වඩා මවට තම දියණිය දීඝ දීමේ දැඩි අවශ්‍යතාවයක් ඇත.
මේ නිසා කපු මහතාගේ උප්පරවැට්ටියකට අනුව කටයුතු කරන්නට දියණියගේ මව මැදිහත් වූවාය.
නැකැත් බැලීම සඳහා දෙපසින් පිරිසක් ඒ සඳහා සුදුසු ස්ථානයක් කරා පිය නැගූ අතර පොරන්දම් සියයට සීයක්ම ගැලපෙන බව නැකැත් කරු පැවසීය. මනාලියගේ මවට ඇති වූවේ නිම්හිම් නැති සතුටකි.
මංගල කටයුත්ත කෙරෙන්නට දිනයක් නැතත් දෙපාර්ශවයේ පවුල් එකට එක්ව වන්දනා ගමන් බිමන් යති. එහෙත් කපු මහතා දෙපැත්තටම අමතක වී ඇත.
පොරන්දු වූ කපු ගාස්තුව දෙනවා කීවාට ඒක දෙන පාටක් ද නැත.
අවසානයේ කපු මහතා මනාලියගේ මවගෙන් දෙනවා කියු මුදල නොදීම නිසා නෝක්කාඩු කීවාය.
කපුවාට කතා කළ යුතු ආකාරය ගැන ඇය කියා දුන්නේ තමන් වැදගත් පවුල්වල අය බව සිහිපත් කරමින්ය.
ඉන් නික්ම ගිය කපු මහතා මනාලයාගේ පාර්ශවය හමු වී මනාලියට තිබෙන අපලය හා පොරොන්දම් බලන්නට ඒ වෙනුවට ගෙන ගියේ අම්මාගේ හදහන බව කීවේය.
සිද්ධිය දැන ගත් මනාල පාර්ශවය මඟුල කපෝති කළ පුවත මනාලියගේ මවට සැල කළාය.
මනාලියගේ මව කපුවාට දෙස් දෙවොල් තැබුවේ ඔය බව සිහි ගැන්වූවා නම් ඉල්ලන මුදල දෙගුණ තෙගුණ කර දෙන බව පවසමිනි.