සිය බිරිඳ දරුවකුට ප්‍රතිකාර ගන්න ගිය අතරේ නිවසේ නිදා සිටි දියණියගේ කනේ කරාබු දෙක ගලවා රැගෙනගොස් මත්කුඩු පානය කළ පියෙකු පිළිබඳව පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය
සිද්ධිය මෙසේය
ඔහු කම්කරුවකු වන අතර කාලයක් තිස්සේ මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකි. දිනපතා රුපියල් තුන්දාහකට වැඩි මුදලක් උපයන අතර එම මුදලින් හරි අඩක් පමණ වැය කළේ මත්කුඩු පානය කිරීමටය. ඔහු සිය බිරිඳට දිනපතා දෙන මුදලින් ඇය දරුවන් දෙදෙනා සමග ජීවිකාව ගෙන යන්නේ ඉතාමත් අමාරුවෙනි. කෙසේ නමුත් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින සැමියා ඉන් මුදවා ගන්න උත්සාහ කළත් ඇයගේ උත්සාහය සාර්ථක නොවීය.
දිනක් මොහු වැඩට යමින් සිටිය දී වැටී තුවාල වී දින කිහිපයක් නිවසේ සිටීමට සිදුවිය. එහෙයින් මොහුට මත්කුඩු ලබා ගැනීම සඳහා මුදල් නොවූ හෙයින් පසුදින සිය බිරිඳගෙන් මුදල් ඉල්ලා සිටියේය. ඔහුගේ කරදරේ නිසාම සඟවාගෙන තිබූ මුදලක් ඇය ඔහුට දුන්නාය.
ඊට පසු දිනෙක ඇයගෙන් මුදල් ඉල්ලා සිටි අතර ඇය එය ප්‍රතික්ෂේප කළාය.
ඒ අතර වාරයේ ඇය තම සිඟිති පුතුට බෙහෙත් ලබා ගැනීම සඳහා රෝහලට ගිය අතර දියණිය නිවසේ නිදාගෙන සිටියාය.
බිරිඳ නිවසින් පිටව ගිය අතරතුර මොහු නිවසේ මුදල් ඇත්දැයි සොයා බැලූ නමුත් කිසිවක් හමුවු නොවූ තැන නිවසේ නිදා සිටි දියණියගේ කරාබු දෙක දුටුවේය .
එය ගලවා ගත් මොහු හනික ගොස් එය උකස් කර මුදල් ලබාගෙන මත්කුඩු පානය කළේය.
නිවසට පැමිණි බිරිය දියණියගේ කරාබු දෙක නොමැති බව දියණිය ගෙන් විමසූ නමුත් ඇය නොදන්නා බව පැවසුවා ය.
අනතුරුව සිය සැමියා ගෙන් විමසූ විට ඔහු පැවසුවේ එය උකස් කළ බවයි.
කැලණිය ලාල් එස්. කුමාර