අක්කගේ නිවස පිහිටියේ මල්ලීගේ නිවසට යාබදය. ඔවුන්ගේ පියා ඔවුන් කුඩා කලම මියගොසිනි. මව දරුවන්ට කරදරයක් වේයැයි සිතා දෙවැනි විවාහයක් කර නොගත්තාය.
ඇය කෙසේ හෝ දරුවන් උස්මහත් කළා පමණක් නොව තමා සිටිනා නිවසට අමතරව දියණිය සඳහා ද නිවසක් සෑදුවේ, තම සොහොයුරාගේ උපකාරය ඇතිවය.
වසර කිහිපයක් ගතවිය. පුතාට රජයේ රැකියාවක් ලැබිණ. ඔහු විවාහ වූයේ පෞද්ගලික ආයතනයක තරුණියක සමඟය. මව දියණිය කම්කරු රැකියාවක නියුතු යහපත් තරුණයෙකුට විවාහ කර දුන්නාය.
දිනක් අසල්වැසි කාන්තාවක් පුතාට තොරතුරක් දුන්නාය.
‘‘බලන්නකෝ මල්ලී ඔයයි නෝනයි වැඩට ගියාම අක්කා ඔයාගේ ගෙදරට ඇවිල්ලා කෑම බීම මලු පිටින් අරන් යනවා.’’
කතාව විශ්වාස කළ ඔහු තම නිවසේ ඇති ආහාර ද්‍රව්‍ය ලැයිස්තුවක් පිළියෙළ කළේය.
මව උදේම අවදිවී පුතාටත් ලේලියටත් ආහාර පිස අවසන් වී තම කාමරයට ගොස් විවේක ගැනීම සිරිතය. එවිට පුතා කුස්සියට ගොස් ඉතිරිව ඇති හාල්, පිටි, සීනි, පරිප්පු යනාදිය තම ඉලෙක්ට්‍රොනික තරාදියෙන් කිරා පොතක සටහන් තබයි. නැවත සවසට පැමිණ එම ආහාර ද්‍රව්‍ය කිරා බලා අඩුදැයි බලයි. එයද දිගටම මවට හොරෙන් කිරීමට අපහසු විය. දින කිහිපයකින් පුතා නිවෙසට සීසීටීවී සවි කළේය. එහෙත් කිසිදා ඔහුට අසල්වැසි කාන්තාව දුන් තොරතුරු ඔප්පු කර ගැනීමට නොහැකි විය.
(ක්‍රිස්ටෝපර් සීපියන් - අනුරාධපුර)