පුළුන් කොට්ටයක් නිසා වසර හතරකට වැඩි කාලයක් අමනාපව අඬදබර කරගත් මවක් සහ එකම දියණියක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
සැමියා හදිසියේ මිය ගියත් කුඩා දියණිය ඇස් දෙක වගේ ආරක්ෂා කරගෙන ඇතිදැඩි කළ මව ඇයට හොඳ අධ්‍යාපනයක් ද ලබා දුන්නාය. මවගේ ආදරය දැඩි රැකවරණය මැද හැදී වැඩුණු දියණිය සරසවි වරම් ද හිමිකර ගත්තාය.
මව කෙරෙහි ඇති අසීමිත ආදර නිසාම ඇය සරසවියේදී ලැබුණු ප්‍රේමාරාධනාවන් ද පහන් සිතින් යුතුව ප්‍රතික්ෂේප කළාය. උසස් අධ්‍යාපනය නිමා කළ දියණිය රජයේ උසස් රැකියාවකට උරුමකම් කී අතර ජීවිතය ජයගන්නට තම මවට සහ තමන්ට උපකාර කළ මාමාගේ පුතා කළ විවාහ යෝජනාවට තරුණිය එකහෙලාම කැමැත්ත පලකළාය. දියණියගේ තීරණයට මවගෙන් හිමි වූයේද දැඩි කැමැත්තකි.
වැදගත් හා චාම් විවාහ උත්සවයක් පැවැති අතර ඔවුහු සතුටින් කාලය ගත කළහ. කාලය ගතවන විට නව යුවළට දියණියක ලැබුණු අතර කාන්තාව ආච්චි අම්මා කෙනෙකු වී ම සම්බන්ධයෙන් ඇය ද ඉමහත් සතුටට පත්වූවාය.
කුඩා බිලිඳිය කෙමෙන් කෙමෙන් ඇති දැඩි වෙද්දී අම්මාත් දියණියත් අතර විරසකයක් ගොඩනැඟුණේ කිසිවෙකුටත් සිතාගත නොහැකි අන්දමටය. කුඩා දියණිය පෙරපාසල් යන වයස එළඹෙන විට මවගේ විරසකය අඩදබරයක් බවට පෙරළුණේය. බිරිඳගේ සහ නැන්දණියගේ මෙම විරසකයට හේතුව සොයමින් සිටි බෑණා අවසානයේ නීතියේ පිහිට පැතුවේය.
කාන්තාවන් සහ වැඩිහිටියන් පිළිබඳව විමර්ශන කරන නිලධාරිහු මව සහ දියණිය කැඳවා විවිධ අන්දමේ ප්‍රයෝග භාවිත කරමින් ගැටලුව විසඳීමට ගත් සියලු උත්සාහයන් නිෂ්පල විය. මවගේ සහ දියණියගේ ගැටලුව ආයතනයේ ප්‍රධානිය වෙත යොමුවූ අතර ඇයද කාන්තාවක වූ නිසා ප්රශ්නය පිළිබඳව දැඩි අවධානය යොමු කළාය. දැඩි ලෙන්ගතුකමකින් යුතුව මව සමග දොඩමළු වූ නිලධාරිනිය ගැටලුව පිළිබඳව කතා නොකර පැරණි තොරතුරු පිළිබඳව කතාබහ සිදු කළාය.
නිලධාරිනියගේ සංවේදී බව හමුවේ මව සඳහන් කළ කාරණයට ඇයගේ නෙත්ද කඳුළින් තෙත්විණි. සැමියා මිය ගිය කාලයේ සිට දියණිය නිදිකරවීම සඳහා කාන්තාව භාවිත කළ පුළුන් කොට්ටය වසර තිහකට ආසන්න කාලයක් මව විසින් සිය ඇඳේ තබාගෙන තිබි ඇති අතර එය පරණ කොට්ටයක් බැවින් දියණිය විසින් ඉවත්කර අලුත් කොට්ටයක් මවට ලබාදීම නිසා දියණිය සමග කේන්තියෙන් සිටින බව කාන්තාව පැවසුවාය.
කාන්තාව නිවසට යවා දියණිය කැඳවා කාරණය පැහැදිලි කළ අතර දියණිය ද දැඩි සංවේදි වූවාය. මවට නොදැනෙන පරිදි එම කොට්ටය මවගේ ඇදේ තබන ලෙස දියණියට උපදෙස් දුන් අතර පසුදින සිට පෙර පරිදිම මව සහ දියණිය දැඩි සෙනෙහසකින් කාලය ගතකරන බව වාර්තාවන අතර තම සේවා කාලයේ අත්දුටු වටිනාම අද්දැකීම බව ගැටලු විසඳීමට කටයුතු කළ විධායක ශ්‍රේණියේ නිලධාරිනිය සඳහන් කළාය.
හක්මන විශේෂ
දෙනගම යසන්ත ආරියසේන