(මාවරල පී.එස්. මද්දුමගේ)
දකුණු පළාතේ රෝහලක අක්ෂි සායනයකි.
ගම්මානයක මාපිය දෙපළකට සිටි එකම පිරිමි දරුවා අක්ෂි ආබාධයකින් පෙළෙන්නෙක් විය.
වයස 18 ක් වූ මොහු හැඩිදැඩි පෙනුමකින් යුත් ලස්සන තරුණයෙක් විය.
ඇසේ ආබාධ තත්ත්වය නිසා හරි අධ්‍යාපනයක් ද ලබා ගැනීමට නොහැකි වී තිබිණි.
මෙම තරුණයාට, ආයුර්වේද ප්‍රතිකාර කොපමණ කළත් පැවැති ඇසේ ආබාධය ඉවත් කර සුවයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා, තරමක දුර බැහැරක පවත්වාගෙන යන රජයේ රෝහල් අක්ෂි සායනයකට තම දරුවා සමග යාමට මව තීරණය කළාය.
අක්ෂි සායනයට ගොස් පුරුදු අසල්වැසියකුගෙන් තොරතුරු අසා දැන ගෙන, දිනක් මේ මව සහ පුතා අක්ෂි සායනයට ගියහ.
කොපි පොතක් ද රැගෙන සායනයට උදේ පාන්දරම ගිය මව සහ පුතා, පැමිණි අනුපිළිවෙළට අනුව සායන අංක ලබාදෙන තුරු පුටු පේළියක අසුන් ගත්හ. මේ අය සායනයට යන විටත් සෑහෙන පිරිසක් පැමිණ සිටි නිසා, රෝගීන්ගේ ආසන අසලින් බාර කරුවන්ට අසුන් ගැනීමට ඉඩක් නොවීය. පුතා ලෙඩුන් අතර පුටු පේළියක ද මව පිටත පුටුවක ද වාඩි වූහ.
තරුණයාට ඉදිරියෙන් වූ පුටුවක ඉදගෙන සිටියේ සායනයට පැමිණි තරුණියකි. ඇය තුවායකින් එක් ඇසක් ආවරණය කරගෙන සිටියාය. තරුණයා සහ තරුණිය එක එල්ලේ බලන විට මුහුණට මුහුණ ගැටෙන දර්ශනයක් පැවැතුණි.
තරුණියගේ මව ද ඒ අසලම සිටියාය. තරුණයා තරුණිය දෙස බලන සෑම අවස්ථාවකදීම ඇස් පිල්ලන් ගසා හිස හරවා ඉගි කරන විලාසයක් පෑවේය. මේ ගැන විපරමින් සිටි තරුණියගේ මව තරුණයා ළඟට පැමිණ නුරුස්නා බසින් යමක් කියනු තරුණයාගේ මව බලා සිට, එම ස්ථානයට පැමිණියාය.
“ඇයි නෝනා. මොක ද?” තරුණයාගේ මව ඇසුවාය.
“මේ ළමයා අපේ දූගෙ දිහා බලල ඇස් පිල්ලන් ගහල, හිස හරවල මොනවද කියනව” තරුණියගේ මව කීවාය. “ඒ ගැන අහන්නයි මම ළමයට කතා කළේ”.
“අනේ නෝනා. සමාවෙන්න. ඒ ළමයට තියෙන ලෙඬේ තමයි ඒක. මගේ කොලුවා එහෙම නරක එකෙක් නෙවෙයි. ඔහේගෙ දූට මොනවත් කියල නෑ. ඉගි කරල නෑ. එයාගෙ ලෙඬේ ඇස් පිල්ලන් ගසන එකයි, හිස හරවල ඉගිකරන එකයි. අපි දන්න වෙද මහත්තුරුන්ගෙන් වෙදකම් කළා. බලි තොවිල් නැටුවා. ඒත් හරි ගියේ නෑ. මේ සායනයට ආවෙ ඒක නිසයි. වරදවා හිතන්න එපා නෝනා. ඒක ලෙඩක්. තරුණයාගේ මව එසේ කියා පිංසෙණ්ඩු වූවාය.
සායනයට පැමිණ සිටි අනෙක් රෝගීහු ද ඒ මවටත් තරුණයාටත් අනුකම්පා දක්වමින් කතා බහ කරන්නට වූහ.
ඒ සමඟම තරුණියගේ මව ලජ්ජාවට පත්ව, “ඔයා නෙවි එහෙනම් මමයි සමාව ගත යුත්තේ” කියා ඉදගෙන සිටි අසුනට ගියාය.