අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්


හසලක - සුනිල් ඒකනායක



බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා විය.
උදා වූ සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්දේ සතුට සිය පවුල්වල සාමාජිකයන් ද සහභාගි කරගෙන සැමරීමට එක්තරා අයතනයක සාමාජිකයන් පිරිසක් එක්ව බක් මහ උළෙලක් සංවිධාන කර තිබිණි.
මෙම උළෙ‍ලේ අවුරුදු උත්සවවල තිබෙන සියලු‍ම අංග තිබූ අතර, පළමුව තිබුණේ මැරතන් ධාවන තරගයයි.


ඒ සඳහා පිරිමි කණ්ඩායමක් එක්වූ අතර, එක් තරගකරුවකු වේගයෙන් ජය කණුව වෙත පැමිණි අතර, ඔහු තරගයේ ජයග්‍රාහකයා විය. ඒ සමගම ඔහුට ඇති වූයේ දැඩි පිපාසයකි.
තරගය නිමා වී අවට බලන විට දුටුවේ තම හිතවතකු අත වතුර බෝතලයක් තිබෙන බවයි. වහා ඔහු වෙත ගිය ක්‍රීඩකයා මිතුරා අත තිබූ බෝතලය ක්ෂණිකව ගෙන එම බෝතලයේ තිබූ දෑ උගුරට දෙකට බීගෙන බීගෙන ගියේය.
“මොනවා ද මිනිහෝ මේ කරන්නේ. මේකේ තියෙන්නේ පොල්තෙල්.” කියා මිතුරා පවසා ඇත. ඒ වන විටත් ක්‍රීඩකයා පොල් තෙල් උගුරු දෙක තුනක් පානය කර අවසන්ය. එම පොල් තෙල් පානය කිරීමෙන් ඔහු දැඩි අපහසුතාවට පත්වූ අතර, ඒ සැණින් ඔක්කාරය කිරීමට පටන්ගත්තේය.
එම සිදුවීමෙන් පසු ඔහු වහා රෝහල්ගත කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගත් අතර, රෝහල්ගත වීම හේතුවෙන් උත්සවය අවසානයේ පැවැති ත්‍යාග ලබා දීමේ අවස්ථාවට ද ඔහුට සහභාගි වීමට නොහැකි විය.