අනුන්ට තෙල බෙදලා තමන්ට පොට වැරදිලා


(බලංගොඩ විශේෂ - වයි.ඒ.එස්. වීරවංශ)

මෙය එක්තරා රක්ෂණ නියෝජිතයෙකුට සිදුවූ අපූරු සිදුවීමකි.

මොහුගේ රාජකාරිය වූයේ නිවෙසින් නිවෙසට ගොස් රක්ෂණ ආයතනයට සාමාජිකයින් බඳවා ගැනීමය. හොඳ මුඛරි කමක් තිබුණු මොහු නිවැසියන් වශී කර ගන්නේ ඉතා සුළු මොහොතකිනි.

බයවෙන්න දෙයක් නැහැ. වාහනය අනතුරකට ලක් වුණොත් සම්පූර්ණයෙන්ම ගෙවනවා. නිවසක් හොරු කැඩුවොත් එහෙම නැත්නම් ගිනි ගත්තොත් ලොකු වන්දි මුදලක් ගෙවනවා. රක්ෂණ නියෝජිතයා ජනතාවට කරුණු පැහැදිලි කළේ තමන් දන්නා උපරිම සට කපටි කම් දිග හරිමිනි.

මොහුගේ කටකාරකමටම බොහෝ ජනතාව රක්ෂණයට සම්බන්ධ වන අතර කාලයක් මෙසේ ගත වී යද්දී මෙම රක්ෂණ නියෝජිතයාගේ යතුරු පැදිය අනතුරකට ලක් විය. අනතුර සිදු වූ වහාම අසල්වාසීහු වට වූහ. යතුරුපැදියට බරපතළ හානි සිදු වී තිබුණද රක්ෂණ නියෝජිතයාට හානියක් සුදු වී නොතිබිණි.

”ආ... මේ අපේ රක්ෂණ මහත්තයානෙ. බයවෙන්න දෙයක් නැහැ. මෝටර් සයිකලය ෆුල් ඉන්ෂුවරන්ස් කරලනෙ ඇත්තේ” අසල්වාසීහු කීහ.

මොන ෆුල් ඉන්ෂුරන්ස් ද මේකට තියන්නේ තර්ඞ් පාටි (තෙවන පන්තියේ රක්ෂණයක්) රක්ෂණ නියෝජිතයාට ඉබේටම කියවිණි.

හත්තිලව්වයි රක්ෂණ මහත්තයා දාලා තියෙන්නේ තර්ඞ් පාටි නම් අපට දෙයියන්ගේම පිහිටයි. අසල්වාසීහු කීහ.