අනුන්ට උදවුවට ගිහින් පරිප්පුවක් කාලා


බස්රථයේ වැටී තිබූ මුදල් පසුම්බිය අහුලාගත් පුද්ගලයාට තම පොකට්ටුවේ තිබූ මුදලත් අහිමි වූ පුවතක් පෑලියගොඩින් පසුගියදා අසනන්ට ලැබුණි. සිද්ධිය මෙසේය. ඉකුත් 18 වෙනිදා දහවල් 11.30 ට පමණ ඇත. 

බියගම සිට කොළඹ දෙසට ගමන් කරන පෞද්ගලික බස්රථයකි. එයට බොල්ලෑගලින් ගොඩවූයේ 70 වියැති රජයේ විශ‍්‍රාමිකයෙකි. ටික දුරක් යන විට බස්රථයේ වැටී තිබූ කාන්තා මුදල් පසුම්බියක් අහුලා එවෙලේම බසයේ කොන්දොස්තර මහතාට ලබාදීමට ඔහු කාරුණික විය.

අනතුරව බස් රථය පෑලියගොඩ 4 කණුව බස් නැවතුමේ නතරවිය. විශ‍්‍රාමිකයා ඇතුළුව තවත් කාන්තාවෝ කීපදෙනෙක් එම නැවතුවේදී බස් රථයෙන් බැස්සාහ. ඒ එක්කම විශ‍්‍රාමිකයා අසලට පැමිණියේ කටකාර සිහින් සිරුරක් ඇති කාන්තාවකි. මගේ මේ පර්ස් එක ඇහුලූවේ ඔයා නේද? යැයි ඇසුවාය. ඔව් මම බිම වැටිලා තිබුණ දැකලා අහුලලා කොන්දොස්තරට දුන්නා. අයිතිකරු හොයලා දෙන්න කියලා විශ‍්‍රාමිකයා පැවසීය.

මේකේ තිබුණු රුපියල් 750 නැහැ. දෙනවා මෙහාට නැත්නම් පොලිසියට යනවා. ගන්නවා පර්ස් එක බලන්න යැයි කටකාර කාන්තාව පැවසුවාය. විශ‍්‍රාමිකයා අන්දුන් කුන්දුන් විය. බස් නැවතුමේ සිටි තවත් කාන්තාවෝ කීපදෙනෙක්ද සිද්ධිය බලා සිටියහ. විශ‍්‍රාමිකයා තම සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය රැගෙන විවෘත කරමින් මේ බලන්න මගේ ළඟ තියෙන්නේ දාහේ කොලයක් සහ සීයේ කොළ කීපයක් විතර යැයි පවසා කාන්තාවට පර්ස් එක පෙන්වීය.

ක්ෂණකින් පර්ස් එක උදුරාගත් කාන්තාව දාහේ කොලය හා සීයේ කොල කීපය රැගෙන පර්ස් එකේ තිබූ අනෙක් ලියකියවිලි විසිකර දුවන්නට වූවාය.

විශ‍්‍රාමිකයා වටපිට බැලීය. බස් නැවතුමේ සිටි අයද මෙය බලා සිටියහ. බිම වැටී තිබූ ලියකියවිලි අහුලාගත් විශ‍්‍රාමිකයා මුදල් පසුම්බියට දා ගත්තේය. ඔහු අසලට පැමිණි කාන්තාවන් කීපදෙනෙක් සිදුවූදේ අපිත් බලාගෙන හිටියේ. අපි මොනවා කරන්නදැයි පැවසුවාය.