අන්නාසි කද්දී කෝච්චියක් ඇවිත්


”හලාවත බලා ගමන් ගන්නා දුම්රිය නියමිත වේලාවට වඩා විනාඩි දහයක් පමණ ප‍්‍රමාදවී ධාවනය වෙනවා ඇත.” කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මෙලෙස ප‍්‍රචාරය වූයේ පසුගිය දිනෙක රාති‍්‍රයේය.


දුම්රිය පළමුවන වේදිකාවට පැමිණි පසු මගීහු බලවේග දුම්රියට ගොඩවූහ. එම දුම්රියේ රියැදුරු මහතා සේවය නිමාවී යෑමට පෙර දුම්රිය නියාමක මහතා වේදිකාවේදී හමුවිය.


”හරි වැඬේනේ දෙමටගොඩදී මිනිස්සු කට්ටියක් පොලූ අරන් මට ගහන්න ආවානේ. රාගම දුම්රිය නැවතුම්පොළේ එනවුස් කළාලූ රාගම ඉඳන් කොටුව වෙනකන් හැම ස්ටේෂන් එකකම නවත්වනවා කියලා. අපි මේක රාගමින් පස්සේ නවත්වන්නේ දෙමටගොඩයි, මරදානයි, කොටුවයිනේ. අතරමගින් බහින්න බලන් හිටපු කට්ටියට දෙමටගොඩට එන්න වෙලා. ඔයාට ඇහුනද ඒ විදියට එනවුස් කරනවා” රියැදුරු මහතා විමසීය.


”මට හරියට මතක නැහැ.” නියාමක මහතාගේ පිළිතුර විය.


”මම ඒ අයට කිව්වා මේක හැමදාම නවත්වන්නේ දෙමටගොඩයි, මරදානයි, කොටුවයි කියලා” රියැදුරු මහතා පැවැසීය.


එවිට නියාමක මහතා ”හිටපු ගමන් එක එක විදිහට රේල්වේ ස්ටේෂන්වල එනවුන්ස් කරනවා. මම පත්තරේක දැක්කා රේල්වේ ස්ටේෂන් එකක එනවුස් කළාලූ දෙවෙනි වේදිකාවට දැන් පැමිණෙන දුම්රිය කෑල්ලක් තියන්න කියලා. බලද්දී වෙලා තියෙන්නේ එනවුස් කරන කොට ඇතුළේ කට්ටිය අන්නාසි කනවලූ” යැයි පැවසූ විට හඬ නගා සිනාසුණු රියදුරු මහතාගේ කෝපය පහවිය.


ක‍්‍රිස්ටෝපර් සීපියන්