උත්සවයකට අවශ්‍ය අන්නාසි ගෙඩියක් අඩුවට ගන්න ගිහින් රුපියල් 800ක් එයට වියදම් කළ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. ඔහුගේ නිවසේ උපන්දින සාදයක් සංවිධානය කර තිබී ඇත.
එයට සහභාගි වෙන ආරාධිතයින්ට පලතුරු සංග්‍රහයක් ලබාදීමේ අරමුණින් බිරිය සැමියාට කතා කර හොඳ අන්නාසි ගෙඩියක් ගෙනෙන ලෙස කියා ඇත. ඒ අනුව නිවෙස අසල පිහිටි වෙළෙඳ සලකට ගොස් අන්නාසි ගෙඩියක් තෝරාගෙන මිල විමසා ඇත. රුපියල් දෙසීයක් දෙන්න කියා වෙළෙන්දා කියූ විට මවිත වී අන්නාසි මේ තරම් ගණන් මොකද? අඩුවට තියනවනේ කියා ඇත. මේ දිනවල අන්නාසි අඩුයි. මිලත් ඉහළයි. කැමැති නම් ගන්න කියා ඇත. අඩුවට අන්නාසි ගෙඩියක් ගන්න පුළුවන් යැයි සිතා පැමිණි කුලී රථයෙන්ම තව ටිකක් දුරට ගොස් ඇත.
මේ අයුරින් ඉදිරි වෙළෙඳ සල් කිහිපයකට ගියත් අඩුවට අන්නාසි ගෙඩියක් මිලට ගැනීමට නොහැකිවී අවසානයේ රුපියල් 200කට අන්නාසි ගෙඩියක් මිලට ගෙන ආපසු නිවෙසට පැමිණ ගණන් බලද්දි කුලී රිය ගාස්තුව සමග අන්නාසි ගෙඩිය මිලට ගැනීමට වියදම් කර තිබූ මුදල රුපියල් 800ක් වී ඇත. වියදම් කළ මුදල ගැන සිතූ බිරිය මදැයි අන්නාසි ගෙඩියක් ගත්තා. පලතුරු කූඩයක්ම ගන්න තිබුණා ළඟ කඩෙන් කියා පවසා ඇති අතර සැමියා කළ මෝඩකම ගැන සිතා නිහඬ වී ඇත.
(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)

