පොල්පිතිගම ජයවර්ධන එම්. සෙනෙවිරත්න
උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟුල් දිනයේ දී ගුණකථනයක් කිරීමට අවශ්‍ය කතාව වෙනත් අයකු ලවා ලියවාගෙන කට පාඩම් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් පොල්පිතිගම අවට ගම්මානයකින් අසන්නට ලැබේ.
මොහු වසර 30ක් පමණ රාජ්‍ය සේවයේ සිය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින හිටපු කෘෂි පර්ෙෂණ නිලධාරිවරයෙකි. එසේ විශ්‍රාම ගොස් වසර දහයක් පමණ ගත වී ඇති අතර එදා මෙදාතුර කිසිම දවසක ප්‍රසිද්ධ සභාවක කතාවක් කර නොමැති බව ඔහුගේ මිතුරකු සමග පවසා ඇත.
මඟුලකදී අවමඟුලකදී, කොටහළු ගෙදරකදී කතාවක් පවත්වන ආකාරය කියාදෙන ලෙස සිය මිතුරාට දිනක් ඔහු පවසා ඇත. මංගල උත්සවයකට හෝ අවමංගල අවස්ථාවකට සහභාගී වන අවස්ථාවල පිරිසෙන් මඟහැර සිටීමට වගබලා ගත්තේ කතාවක් පැවැත්වීමට සිදුවෙතැයි ඇති බිය නිසාවෙනි.
එහෙත් මඟහැර සිටීමට නොහැකි අවස්ථාවක් උදාවී ඇති බව ඔහුට දැනුණේ සිය වැඩිමහලු සොහොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත වූ පසුවය.
අවමඟුල් අවස්ථාවේ දී තමන්ට අනිවාර්යයෙන්ම කතාවක් පැවැත්වීමට සිදුවන බව ඔහුට මතක්විය. වහා සිය මිතුරාට විස්තර පවසා කතාවක් ලියවාගෙන එය කට පාඩම් කරන්නට විය. එයින් දින තුනකට පමණ පසුව සොයුරිය මියගිය බව දැනගන්නට ලැබී සිය මිතුරාට ඒ බව පවසා ඔහු මළගෙදර ගියේය.
සතියකට පසු ගමට පැමිණි ඔහු සිය මිතුරාගේ නිවෙසට යාමට අමතක නොකළේය. ඔහු මිතුරාගේ නිවෙසට ගොඩවූයේ ‘‘ඔබ තුමා හින්දා මගේ සායම බේරුණා” යැයි කියාගෙනය.