සීනි කිලෝවක උපරිම සිල්ලර මිල ඉවතට


(මහින්ද නිශ්ශංක)

සුදු සීනි කිලෝවක් අලෙවි කිරීම සදහා නියම කර තිබූ රුපියල් 100 ක උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉවත් කර තිබේ.

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ (28) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි සුදු සීනි පාලන මිල ඉවත් කර තිබේ.          

සීනි කිලෝවක් මෙරටට ගෙන්වීමේදී රුපියල් 115 කට වඩා වැඩි මිලක් වැයවීම හේතුවෙන් මෙම උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට සිදුවී ඇතැයි පාරිභෝගික අධිකාරියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.         

මේ වන විට අද (29) වන විට සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 112 ක් පමණ වෙතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.   

මේ අතර සීනි කිලෝවක සිල්ලර මිල අද (29) රුපියල් 120, 125 වශයෙන් පැවති අතර ලංකා ස.තො.ස මගින් සුදු සීනි කිලෝවක් රුපියල් 119 කට අලෙවි කෙරිණි.

සීනි තොග මිල ඉහළයාමට හේතුවී ඇත්තේ ඩොලරයේ අගය ඉහළයාමත්, දැනට ලොව පුරා පැතිර පවතින කොරෝනා වයිරසය හේතුවෙන් සීනි ආනයනය කිරීමේදී නැව් ගාස්තු සහ ප‍්‍රවාහන ගාස්තු ඉහළයාමත් නිසා බව පවසන තොග වෙළෙන්දෝ සීනි මෙට්‍රික්ටොන් එකක මිල මේ වන විට ඩොලර් 390ත් 400ත් අතර පවතින බව ද කියා සිටිති.