වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හදිසි පරීක්ෂාවට


( තිලකරත්න දිසානායක.)

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාලන මිලට වැඩියෙන් අලෙවි කරන බවට ලද පාරිභෝගික පැමිණිලි මත වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පරීක්ෂාවට ලක් කිරීම පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සිදු කරමින් පාලන මිලට ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන ඇත.

අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය මගින්  සිදු කළ පරීක්ෂාවේදී පරිප්පු , සැමන් සහ බී ලුනු පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කරනු ලබන බව පෙනී ගිය බැවින් පාලන මිල ගණන් වන පරිප්පු කිලෝවක් රුපියල් 65 ක්, සැමන් ( ග්‍රෑම් 425 ) රුපියල් 100 ක් සහ බී ලුනු කිලෝවක් රුපියල් 150 ක් වැනි මිල ගණන් යටතේ ලබා දීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය. 

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල , අරුණ ශාන්ත සහ මාලිංග ගුණසේකර  යන මහත්වරුන්  මෙම  පරීක්ෂාව සිදු කර ඇත.