මෙරට කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,000 ඉක්මවයි


(හර්ෂණ තුෂාර සිල්වා සහ නිමල කොඩිතුවක්කු)

මෙරටින් හඳුනාගත් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (30) 3,000 ඉක්මවා ගියේය.

අද (30) දිනය තුළදී මෙරටින් නව කොරෝනා වයිරස ආසාදිතයන් 15 දෙනකු හඳුනාගත් අතර ඒ අනුව මෙරටදී හඳුනාගත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 3,010ක් ලෙස වාර්තා විය. එම ආසාදිතයන් 15 දෙනාගෙන් 12 දෙනකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වන අතර ඉතිරි තිදෙනා මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වෙති.

මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 138ක් වන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 2,860කි. දැනට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 52 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 12කි.

මෙරටින් මුල්වරට නව කොරෝනා වයිරස ආසාදිතයකු හඳුනාගැනුණේ ඉකුත් මාර්තු මස 3 වැනිදා ය. ඊට පෙර ජනවාරි 27 වැනිදා චීන ජාතික කාන්තාවකට නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබිණි.

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියට අනුව මේ දක්වා කර ඇති ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන් හඳුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ ගණන 223,982කි.

No photo description available.