මහර බන්ධනාගාරයේ කලහයට මැදිවූ රැඳවියන් 61 කට කොරෝනා



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 61දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රාගම මහ රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියන් 69 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, එයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ මහතා කීවේය.

සෙසු රැඳවියන් 61දෙනා කොරෝනා ආසාදිත බැවින් විශේෂ ඒකකයක රඳවා ඇති බවත්, ඔවුන් අතරින් 10දෙනෙකුගේ තත්වය බරපතල බවත්,  ඇතැම් රැඳවියන් ශල්‍යකර්මවලට යොමුකරමින් සිටින බවත් ඔහු කීය.

කලහයට මැදිවූ එක් රැඳවියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා පැවසීය. මේ හේතුවෙන් රාගම රෝහල ඒ අවට පොලිසිය සහ  පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා  ආරක්ෂාව දැඩිකර  ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි  රැඳවියන්  187දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම ප්‍රදේශයක පිහිටි වෙන්  කරන ලද විශේෂිත ස්ථානයක් වෙත  රැගෙන ආ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඔවුන් සියලු දෙනාද කොරොනා ආසාදිතයන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.