මතුගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වහයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ  ඩෙංගු සහයක ලෙස කටයුතු කරන  සේවකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය අද(9) තාවකාලිකව වසා දැමූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී. ඩී.  ලයනල්  මහතා පැවසීය.

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය ඇතුළු 60 දෙනෙකුගෙන් යුත්  කාර්ය මණ්ඩලයට පී සී ආර් පරීක්ෂණ  කර  නිවෙස්වල  නිරෝධායනයට ලක්කළ බව  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.

කොරෝනා වයිරසය ආසාදනය වූ  ඩෙංගු සහයක  සේවක මහතා  ඉකුත් දින කිහිපය තුළ  මතුගම ප්‍රදේශයේ අනෙකුත් කොරෝනා ආසාදිතරෝගීන්ගේ පී සී ආර් පරීක්ෂණ සඳහා   නිරතුරුව සහභාගි වූවෙකු බව  ලයනල්  මහතා පැවසීය.

එම සේවක මහතා මතුගම කළු පහන  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසබීජහරණයෙන් පසු වෙනත් නිලධාරී කණ්ඩායමක් ආදේශ කර පුරුදු සේවාවන් පවත්වාගෙන යාමට  කටයුතු කිරීමට නියමිත බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.