(මොහොමඩ් ආසික්)
මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් සියලු දෙනාට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එහිදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තව දුරටත් ප්‍රකාශ කළේ මෙම පහසුකම අදියර තුනකදී ලබා දී ඇති බවත් එහි පළමු අදියර වශයෙන් ශ්‍රී දළදා මාළිගාවට ඇතුළු වන සියලු දෙනාගේ දෑත් දෝවනය කර ගැනීමට සහ මුහුණ සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් ලෙස ජලය, විෂබීජ නාශක සහ සබන්වැනි දෑ පළමු අදියර වශයෙන් සපයා ඇති බවත්, දෙවැනි අදියර වශයෙන් දේශිය වෛද්‍ය වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කරනු ලැබූ විෂබීජ නාශකයක් අවශ්‍යතාවය පරිදි ලබා දෙන බවත් කීය. මෙමගින් අවශ්‍ය නම් මුහුණ පවා පිරිසිදු කරගැනීමට හැකි බවද දියවඩන නිලමේ තුමන් කීය.
මාළිගාව තුලට දානමාන රැගෙන යන සියලු බැතිමතුන්ටත් මේ අවස්ථාව සලසාදී තිබෙන බවත් දියවඩන නිළමේ නිලංග දෑල මහතා පැවසීය.
තෙවැනි අදියර වශයෙන් දළදා මාළිගා පරිශ්‍රය තුළ රැඳිසිටින විශාල බැතිමතුන් පිරිසක් සිටින බවත් ඒ නිසා දේශීය පැරැණි බෙහෙත් වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර දූමායනයක් මුළු දළදා මාළිගාව පරිශ්‍රය තුළම සිදුකරන බවත් කීය. මෙවන් කටයතු මගින් දළදා මාළිගා පරිශ්‍රයේ සියලු බැතිමතුන්ට බියෙන්, සැකයෙන් තොරව වන්දනාමාන කිරීමට හැකි පරිදි විශේෂ අවධානය යොමු කර සකස් කර ඇති බවත්, දළදා මාළිගාවට පැමිණෙන සියලු බැතිමතුන්ට බියෙන් සැකෙන් තොරව දළදා වහන්සේ වැඳපුදාගන්න අවස්ථාව ඇති බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙහිදී තව දුරටත් කීය.

