කොවිඩ් රෝගීන් ගැන අලුත්ම වාර්තාව


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් රෝගීන් වාර්තාවීම සියයට 50කින් පමණ පහත බැස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට   පැවැසීය.

එසේම කොවිඩ්  වැළඳුණු පිරිස්  රෝහල් ගතවීමද  සියයට  25කින් පමණ පහත බැස ඇති බව පැවසූ වෛද්‍යවරයා  ඔක්සිජන් මත යැපෙන කොවිඩ්  රෝගීන් සංඛ්‍යාවද  සියයට 30කින් පමණ  අඩුවී ඇතැයි  ප්‍රකාශ කළේය.

කොවිඩ්  මරණ සංඛ්‍යාවද  පහට අඩු සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇතැයි අන්වර් හම්දානි මහතා  පැවසූවේය.

මුළු දිවයිනෙන්ම දිනකට වාර්තාවන කොවිඩ්  රෝගීන් සංඛ්‍යාව 300ත් 350ත් අතර සංඛ්‍යාවක් දක්වා  පහත  බැස ඇති බවත් සමස්ත රෝගීන්ගෙන්  රෝහල්ගතවී ප්‍රතිකාර ලබන්නේ  2700ක් පමණක් බවත්  හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇඳවල්  11400ක්  සූදානම් කර ඇති අතර  එම ඇඳවල්වලින් රෝගීන් සිටින්නේ සියයට 23ක  පමණක් බවද කොවිඩ්  සම්බන්ධීකාරකවරයා කීවේය.

කොවිඩ්  එන්නත්කරණයේ සාර්ථක භාවය නිසා  මෙම ප්‍රතිඵල ලැබී තිබෙන බව පැවසු  වෛද්‍යවරයා පළමු එන්නත් මාත්‍රාව සියයට අනු හයක්ද දෙවැනි එන්නත් මාත්‍රාව සියයට අසූ එකක්ද තෙවැනි එන්නත් මාත්‍රාව සියයට පනස් තුනක්ද ලබාගෙන ඇතැයි සඳහන් කළේය .

සෞඛ්‍ය  මාර්ගෝපදේශ  බොහෝ දෙනා හරියාකාරව  පිළිපැදීමද කොවිඩ්  පැතිරීම අඩු කර ගැනීමට බෙහෙවින් ඉවහල්වූ බවත්  කොවිඩ්  පැතිරීම  වළක්වා ගැනීම සඳහා අඩු තරමින් මුව ආවරණ පැළඳීම දිගටම කළ යුතු බවත් ඔහු පැවැසීය.

අනෙක් සෞඛ්‍ය නීති පිළිපැදීම කෙසේ වෙතත්  බොහෝ දෙනා මුව ආවරණ  පැළඳීම  ඉතා හොඳින් සිදු කළ බව  තමා සතුටින් ප්‍රකාශ කරන්නේ  යැයි  හම්දානි මහතා වැඩිදුරටත් කීවේය.