කොරෝනා ව්‍යාප්තිය ජාතික හදිසි තත්ත්වයක්


කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ‘ජාතික හදිසි තත්ත්වයක්’ ලෙස ප්‍රකාශයට පත් කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ ලොව ධනවත්ම රට ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ පාසල්, ක්‍රීඩා ඉසව්, කාර්යාල සහ සංචාරක කටයුතු නවතා දැමීමට පියවර ගැනිණි.

ප්‍රාන්ත සහ ඊට පහළ බලධාකාරීන්ට ආපදා සහන අරමුදලක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක මුදලක් මුදා හරින බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා ජාතික හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් පැවැසීය.

වොෂින්ටන් නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (13) එම කරුණු සඳහන් කළේය.

එහිදි මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා පුදුමයට පත් කරමින් තමන් ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත් ද නැද්ද යන්න සොයාබැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණකයට මුහුණ දෙන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා කීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට 47 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරට වයිරස ආසාදිතයන්ගේ ගණන2,000ඉක්මවා ගොස් ඇත.

‘‘ඉදිරි සති අට ඉතාම වැදගත්’’ යැයි ද ධවල මන්දිරයේ පැවැති මාධ්‍යහමුවේදී ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.

‘‘අපිට දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම අපි ඉතාම ඉක්මනින් මේ සටන ජයගන්නවා’’ යැයි ද හෙතෙම කීය.

ඒ.එෆ්.පී.
- 055