(තිලකරත්න දිසානායක.)
විවිධ කර්මාන්ත සඳහාවූ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනු ලබන යාන්ත්‍රික ඉංජිනේරුවකු විසින් අඩු මිලකට නිෂ්පාදනය කළ හැකි ස්වසනාධාර යන්ත්‍රයක් (VENTILATOR) නිෂ්පාදනය කර තිබේ.
කොරෝනා රෝග තත්ත්වය මත ස්වසනාධාර යන්ත්‍රයක් නිෂ්පාදනය පිනිස සෞඛ්‍ය අංශය මගින් කළ ඉල්ලීමකට අනුව තමන් විසින් පවත්වාගෙන යනු ලබන හයිටෙක් සොලුෂන් පෞද්ගලික සමාගම වෙතින් මෙම යන්ත්‍රය නිපදවූ බව මෙහි නිර්මාණ කරුවා වන ඉංජිනේරු බුද්ධික මාරසිංහ මහතා පැවසීය.
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු වරයෙකු වන බුද්ධික මහතා මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කළේ රටේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ස්වසනාධාර යන්ත්‍රයක් පළමු වරට නිෂ්පාදනය කළ බවය.
මෙම යන්ත්‍රය මගින් රෝගීන් සිව් දෙනෙකුට එකවර ස්වසනාධාර දීමේ හැකියාව පවතින බව බුද්ධික මහතා පැවසූ අතර මෙහි පවතින විශේෂත්වය ලෙස පෙන්වා දෙනු ලැබූයේ රෝගීන් බැහැර කරනු ලබන ප්‍රාශ්වාසය සාමාන්‍ය වශයෙන් බැහැර නොකොට උපාංගයක් මගින් දහනය කිරීමකට ලක් කෙරෙන බවය.
මෙය නිෂ්පාදනය කිරීමේදී උපදේශකත්වය නිර්වින්දන වෛද්‍යෙවරුන් වන චන්දන කරුණාරත්න සහ ප්‍රසාද් කොළඹගේ යන මහත්වරුන් ගෙන් ලබා ගත් බව පැවසූ බුද්ධික මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවන් යන්ත්‍රයක් විදේශයකින් ආනයනය කිරීමේදී අධික මුදලක් වැය වන නමුත් මෙරට ඉලෙක්ට්‍රොනික් සහ රබර් නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යන්නන් මගින් මෙවන් යන්ත්‍ර නිපදවීමට අවශ්‍ය උපාංග සකසාගත හැකි බවයි.
මෙම යන්ත්‍රය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිර්දේශය පිනිස ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.




