ඡන්දෙන් පසු මන්ත්‍රීවරු එළියට


එජාපයෙන් එකවර ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු-2

 

ජනමත විචාරණය පැවැත්විය යුතු දිනය 1982 දෙසැම්බර් 22 වැනිදා ලෙසත් ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු යෝජනාව, හතරවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් සඳහන් වූ පනත් කෙටුම්පත ඔබ අනුමත කරන්නේද? යන්න බවත් 1982 නොවැම්බර් 14 වැනිදා ගැසට් පත්‍රය මගින් ජනාධිපති තුමා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. මෙම ඡන්දය පැවැත්වීමට සිදුව තිබුණේ සමස්ත ලංකාවම එක් මැතිවරණ කොට්ඨාසයක් මෙන් සලකමිනි. අපේක්‍ෂකයන් නොසිටි නිසා ඡන්ද ලකුණු දෙකක් හිමිව තිබුණි. යෝජනාවකට පක්‍ෂ අය ලාම්පුව ලකුණ ඉදිරියේත් විරුද්ධ අය කළය ලකුණ ඉදිරියේත් ඡන්දය සලකුණු කළ විය යුතු විය. මෙම ජනමත විචාරණය සඳහා රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගත් බවට බොහෝ දෙනා රජයට චෝදනා කළහ. අවසානයේ ඡන්ද ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ කාලය සය අවුරුද්දකින් දීර්ඝ කිරීමේ යෝජනාවට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් බහුතරය කැමැත්ත ප්‍රකාශ කර තිබුණි. ඡන්දය කල් දැමීමට පක්‍ෂව (ලාම්පුව) ඡන්ද 3,141,223, විරුද්ධ (කළය) ඡන්ද 26,059,83, වැඩි ඡන්ද 5,35,240. 


මෙම ප්‍රතිඵලය තවදුරටත් විමර්ශනය කළහොත් එය මෙසේ දැක්විය හැකිය. ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලින් හම්බන්තොට, යාපනය, වන්නිය, මඩකලපුව ජයග්‍රහණය කර තිබුණේ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කිරීමට විරුද්ධව කළය ලකුණයි. එය ආසන වශයෙන් සලකන විට මන්ත්‍රී ආසන 48කි. ඒවා නම් කෝට්ටේ, කඩුවෙල, මහරගම, කැස්බෑව, ගම්පහ, මහර, පානදුර, මතුගම, කළුතර, බේරුවල, අගලවත්ත, කුණ්ඩසාලෙ, බලපිටිය, අම්බලන්ගොඩ, බද්දේගම, රත්ගම, ගාල්ල, අක්මීමන, හබරාදුව, හක්මන, කඹුරුපිටිය, දෙව්නුවර, මාතර, මුල්කිරිගල, බෙලිඅත්ත, තංගල්ල, තිස්සමහාරාමය, කයිට්ස්, වඞ්ඩුකොඬේයි, මානිපායි, කන්කසන්තුරේ, කෝපායි, උඩුප්පිඩි, පේදුරුතුඩුව, චාවකච්චේරි, නල්ලූර්, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, මුලතිව්, කල්කුඩා, මඩකලපුව, පදිරිප්පු, ත්‍රිකුණාමලය, මුතූර්, ඇහැලියගොඩ හා ගලිගමුව වශයෙන් දක්නට ලැබුණි. දෙමළ භාෂාව කථා කරන ජනතාව වෙසෙන සියලුම දිස්ත්‍රික්කවලින් රජය පරාජය වී තිබුණි.


ජනමත විචාරණය පරාජය වූ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් නියෝජනය කරන ආසනවල ජනමතය නැවත විමසා බැලීමට අදහස් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 1983 පෙබරවාරි 11 වැනිදා ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් ජනමාධ්‍ය හරහා ජනතාවට දැන ගන්නට ලැබුණි. එයින් කියවුණේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 17ක් ඉල්ලා අස්වූ බවය. ඔවුන් අතර ඇමතිවරයෙක්, දිසා ඇමතිවරු දෙදෙනෙක්, නියෝජ්‍ය ඇමතිවරු හය දෙනෙක් ද සිටින බව වාර්තා විය. මෙහිදී සිදුව තිබුණේ ජනාධිපතිවරයා අත තිබුණු දින රහිත ඉල්ලා අස්වීමේ ලිපිවලට දිනය යොදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලබාදීමය. පාර්ලිමේන්තු මහ ලේකම් නිහාල් සෙනෙවිරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී කියවනු ලැබූ ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මෙසේ වූවේය. සෞඛ්‍ය ඇමති රන්ජිත් අතපත්තු (බෙලිඅත්ත), ගම්පහ දිසා ඇමති ටියුඩර් ගුණසේකර (මහර), හම්බන්තොට දිසා ඇමැති දොස්තර පී. ඇම්. බී. සිරිල් (තිස්සමහාරාමය), කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති සුමනදාස අබේවික්‍රම (අක්මීමන), ධර්මසේන ආටිගල (කැස්බෑව), රාජ්‍යාරක්‍ෂක නියෝජ්‍ය ඇමති මර්වින් කුලරත්න (ඇහැලියගොඩ), පෞද්ගලික බස් නියෝජ්‍ය ඇමති ප්‍රේමරත්න ගුණසේකර (මහරගම), පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමති එඞ්වින් තිලකරත්න, (රත්ගම), ග්‍රාම සංවර්ධන නියෝජ්‍ය ඇමති හර්ෂ වනිගසේකර (හක්මන), රාජ්‍ය වැවිලි නියෝජ්‍ය ඇමති වී. ඇල්. විජේමාන්න (කළුතර), පී. සුමතිරත්න (හබරාදුව), රයිටර් තිලකසේකර (අම්බලන්ගොඩ), ටී. ඩී. ෆ්‍රැන්සිස්කු (මුල්කිරිගල), ජිනදාස වීරසිංහ (කෑගල්ල), රෙජිනෝල්ඞ් විජේගුණරත්න (මතුගම), සේපාල අකුරුගොඩ (බද්දේගම), ඇල්බට් සිල්වා (කඹුරුපිටිය), පද්මින් ෆොන්සේකා (පානදුර), රොනීද මැල් (දෙවිනුවර).


මෙම පුරප්පාඩු පිරවීමටද විවිධ ක්‍රම උපයෝගී කර ගන්නා ආකාරයක් දක්නා ලදී. දෙවිනුවර ආසනයෙන් ඉල්ලා අස් වූ රොනී ද මැල් මහතා පසුදිනම ඒ වන විට හිස්ව පැවති බුලත්සිංහල ආසනයේ මන්ත්‍රීවරයා ලෙස එ.ජා.ප මහලේකම්වරයාගේ නිර්දේශයෙන් පත්වීම් ලැබීය. පානදුරේ මන්ත්‍රී පද්මින් ෆොන්සේකා මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ එම තනතුරටද මර්වින් ජේ.කුරේ මහතා එ.ජා.පයේ ලේකම්වරයාගේ නිර්දේශය මත පත් කරනු ලැබීය.


ඉතිරි ආසන සඳහා අතුරු මැතිවරණ පැවැත්වීමට ජනාධිපතිතුමා තීරණය කර තිබුණි. 1983 මැයි 18 වැනි දින පැවැත්වූ අතුරු මැතිවරණයේ ප්‍රතිඵල අනුව එම ආසන 18න් 14ක්ම එක්සත් ජාතික පක්‍ෂය විසින් දිනා ගන්නා ලද අතර තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එකක් මහජන එක්සත් පෙරමුණ විසින්ද දිනාගෙන තිබුණි. එම ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්‍ෂය ගාමිණී ලොකුගේ (කැස්බෑව), වී. ඇල්. විජේමාන්න (කළුතර), එම්. එච්. කේ. ජගත්සේන (අම්බලන්ගොඩ), අශෝක සෝමරත්න (රත්ගම), ජී. වී. එස්. ද සිල්වා (හබරාදුව), මහින්ද යාපා අබේවර්ධන (හක්මන), සී. විජේගුණවර්ධන (කඹුරුපිටිය), ආනන්ද කුලරත්න (මුල්කිරිගල), දොස්තර රන්ජිත් අතපත්තු (බෙලිඅත්ත), දොස්තර ලෙනාඞ් කිරිඇල්ල (ඇහැලියගොඩ), ජිනදාස වීරසිංහ (තංගල්ල), දොස්තර පී. ඇම්. බී. සිරිල් (තිස්සමහාරාමය), කමලවර්ණ ජයකොඩි (මහර), පී. එස්. එල්. ගලප්පත්ති (දෙවිනුවර), මහත්වරුද ශ්‍රී.ල.නිපයෙන් අනිල් මුණසිංහ (මතුගම), අමරසිරි දොඩන්ගොඩ (බද්දේගම), රිචඞ් පතිරණ (අක්මීමන) යන අයද මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන (මහරගම) යන මහත්වරුද ජයගත්හ. 1977 මහා මැතිවරණයේදී ආසන අටකට සීමා වී අන්ත පරාජයකට ලක්ව ඊට පසු එම අටදෙනාද පිල් දෙකකට බෙදීමෙන් සහ එයිනුත් සමහරුන් රජයට සහාය දක්වමින් සිටි වාතාවරණය හමුවේ පාර්ලිමේන්තු ආසන තුනක් දිනාගැනීමට ලැබුණු අවස්ථාව එම පක්‍ෂයට විශාල ජයග්‍රහණයක් වූ බව පැහැදිලිව පෙනී ගියේය. එමෙන්ම බිංදුවට වැටී තිබුණු වමේ බලවේගය දිනේෂ් ගුණවර්ධන මහතා මහරගමින් ලැබූ ජයග්‍රහණය සුවිශේෂි විය. නැවත විපක්‍ෂයට හිස එසවීමක් නැතැයි උදම් අනමින් සිටි රජයට මෙම අතුරු මැතිවරණය පාරාවළල්ලක් වූ බව එකල පුවත්පත්වල පළ විය. එදා පත්ව ආ මන්ත්‍රීවරු කීප දෙනෙක් අදත් පාර්ලිමේන්තුව නියෝජනය කරති. ඔව්හු මේ වන විට ජ්‍යෙෂ්ඨයෝ බවට පත්ව සිටිති.


තවත් ජනාධිපතිවරණයක් අතළඟටම පැමිණ තිබේ. ඒ පිළිබඳවද එක්සත් ජාතික පක්‍ෂය තුළ මතභේද පැනනැගී ඇති බවද නොරහසකි. විනය පරීක්‍ෂණ සහ වෙනත් තර්ජනයන් ගැනද මාධ්‍ය වාර්තා පළ වේ. මෙවැනි තත්ත්වයකට අදාළව පෙර පැවති සංසිද්ධියක් මෙසේ සිහියට නැගුණි. එහෙත් මේ වන විට අතුරු මැතිවරණ පැවැත්වෙන්නේ නැත. හිස්තැන් පුරප්පාඩු පුරවනු ලබන්නේ පසුගිය මැතිවරණයේදී ඒ ඒ පක්‍ෂ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂක ලැයිස්තුවල අනුපිළිවෙළ අනුවය. අදටත් එම පැරණි අතුරු මැතිවරණ ක්‍රමය පැවතුණා නම් දේශපාලන සුළඟ හමනුයේ කිනම් පැත්තකටද යන්න පහසුවෙන් වටහා ගැනීමට හැකියාව තිබුණි. එහෙත් කිසිම මන්ත්‍රී ධුරයක් හිස්ව නැති බවද අමතක කළ යුතු නොවේ.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය : අන්තර්ජාලයෙනි