සයිබර් ආරක්ෂාව කාගිල්ස් බැංකුවෙන් යාවත්කාලීන තොරතුරු


සයිබර් ආරක්ෂාව සම්බන්ධ සිදුවීම පිළිබඳ යාවත්කාලීන තොරතුරු සහ අඛණ්ඩ ආරක්ෂණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කාගිල්ස් බැංකුව කොටස් වෙළෙඳපොළට ලිපියක් මගින් දැනුම් දී තිබේ. එහි මෙසේ සඳහන්ය.
2025 මාර්තු 21, 2025 මාර්තු 25 සහ 2025 අප්‍රේල් 2 දිනැති අපගේ ප්‍රසිද්ධ නිවේදනවලින් හෙළිදරව් කළ සයිබර් ආරක්ෂාව සම්බන්ධ සිදුවීමට අදාළව කාගිල්ස් බැංකුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ තවදුරටත් යාවත්කාලීන තොරතුරු ලබාදීමට කැමැත්තෙමු.

 

  • අපගේ කඩිනම් හා අඛණ්ඩ ප්‍රතිචාරය

මෙම සිදුවීම පිළිබඳව දැනුවත් වූ වහාම, බැංකුව පහත සඳහන් ක්‍රියාමාර්ග වෙත යොමු විය.

  • දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් සයිබර් ආරක්ෂණ විශේෂඥයන් සමග සම්බන්ධ වී, සිදුවීම පිළිබඳ වහාම විමර්ශනයක් ආරම්භ කිරීම, සවිස්තරාත්මක අධීක්ෂණ විමර්ශනයක් පැවැත්වීම, ආරක්ෂණ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සහ අනාගත සයිබර් ආරක්ෂණ රාමුව වැඩිදියුණු කිරීම.
  • නියාමන ආයතන වෙත දැනුම් දීම සහ අඛණ්ඩව යාවත්කාලීන තොරතුරු ලබාදීම.
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයට සිදුවීම වාර්තා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමග සම්බන්ධීකරණය කිරීම.
  • තවදුරටත් ඇතිවිය හැකි තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ජාල ආරක්ෂණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම.
  • මූලික බැංකු පද්ධති හෝ පාරිභෝගික ගිණුම්වලට කිසිදු බාධාවක් නොවන පරිදි සියලුම බැංකු මාර්ග හරහා අඛණ්ඩව මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම.
  • කොළඹ කොටස් හුවමාරුව (CSE) අපගේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය (Facebook සහ LinkedIn) හරහා ප්‍රසිද්ධ හෙළිදරව් කිරීම් සිදු කිරීම.
  • පාරිභෝගිකයන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම.
  • සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත අදාළ උපදෙස් ලබා දී, බාධාවකින් තොර පාරිභෝගික සේවාවක් සහ ඉහළ සුපරීක්ෂාකාරී බවක් සහතික කිරීම.
  • සිදුවීම පිළිබඳව පාරිභෝගිකයන්ට ඍජුවම දැනුම් දී, ගනු ලැබූ ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන්ට සහතිකයක් ලබා දීම.

ආරම්භයේ සිටම අපගේ විමර්ශන අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමත් සමග, තහවුරු කරන ලද තොරතුරු පමණක් සන්නිවේදනය කිරීමට අපි කටයුතු කරගෙන යමින් සිටිමු. පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් තහවුරු කරන ලද තොරතුරුවලින් දැනුවත්ව සිටීමේ වැදගත්කම අපි අවබෝධ කරගෙන ඇති අතර, ඒ සඳහා අපි සම්පූර්ණයෙන් කැප වී සිටින්නෙමු.

 

  • පාරිභෝගික හා පාර්ශ්වකාර තොරතුරු ආරක්ෂා කිරීම

අපි සිදුවීම අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින්නෙමු. යම් පාරිභෝගිකයකුගේ හෝ පාර්ශ්වකරුවකුගේ වැදගත් තොරතුරක් අනාරක්ෂිත බව හඳුනා ගතහොත්, අපි ඔවුන් සමග ඍජුවම සම්බන්ධ වී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කරන්නෙමු.
මෙම සිදුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට, බැංකුවට හෝ මූල්‍ය ගනුදෙනුවලට කිසිදු මූල්‍ය අවදානමක් නොමැති බව අපි ඔබට සහතික කරන්නෙමු. බැංකු කටයුතු හා ආරක්ෂා ක්‍රියාමාර්ග සම්බන්ධ පද්ධති සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව සහ කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ. සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගේ සහාය ඇතිව, බැංකුවේ ආරක්ෂණ පරිසරය ශක්තිමත් කිරීමට අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත්තෙමු.
පාරිභෝගික හා පාර්ශ්වකාර තොරතුරු ආරක්ෂා කිරීමේ අරමුණින්, අනාරක්ෂිත තොරතුරු නීති විරෝධී ලෙස බෙදාහැරීම සීමා කිරීම සඳහා අපි නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත්තෙමු. මෙම පියවර ගනු ලැබුවේ බලපෑමට ලක්වූවන්ගේ පෞද්ගලිකත්වය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පමණි. බලපෑමට ලක්වූවන්ට තවදුරටත් හානිදායක විය හැකි බැවින්, ලැබෙන කිසිදු ආකාරයක පාරිභෝගික තොරතුරක් බෙදා නොගන්නා ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

 

  • මූල්‍ය ශක්තිය සහ මෙහෙයුම් ස්ථායිතාව

කාගිල්ස් බැංකුවේ මූල්‍ය හා ද්‍රවශීලතා තත්වය තවදුරටත් ශක්තිමත්ව පවතින අතර, අපගේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතික නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවතී.

 

  • අපගේ ඉදිරි කැපවීම

ඔබගේ අඛණ්ඩ විශ්වාසය හා අවබෝධය වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙමු. කාගිල්ස් බැංකුව මෙම සිදුවීම විනිවිදභාවයෙන්, සැලකිල්ලෙන් සහ වගකීමෙන් කළමනාකරණය කිරීමට සම්පූර්ණයෙන් කැප වී සිටී. අපි ජාත්‍යන්තර ඉහළම භාවිතයන්ට අනුකූලව අපගේ පද්ධති ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදු කරන අතර, පාරිභෝගිකයන්, සේවකයන් සහ පාර්ශ්වකරුවන් සඳහා ඉහළම ආරක්ෂණ මට්ටම් සහතික කිරීම සඳහා සයිබර් ආරක්ෂණ විශේෂඥයන් සහ දේශීය නියාමන බලධාරීන් සමග සමීපව කටයුතු කරන්නෙමු.