මහජන බැංකුව LankaPay Technnovation සම්මාන උළෙලේදි රන් සම්මානයෙන් පිදුම් ලබයි



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව පසුගියදා පැවති  LankaPay Technnovation Awards 2026 උළෙලේදි වඩාත් ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම (බැංකු අංශය) සඳහා වන රන් සම්මානය සිය People’s Pay යෙදවුම වෙනුවෙන් හිමිකරගන්නා ලදි. මෙරට ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා වන මහජන බැංකුව, අඛණ්ඩව සත්වන වරටත් මෙම සම්මානයෙන් පිදුම් ලැබිම විශේෂත්වයකි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, Cinnamon Life  හිදි පැවැති මෙම සම්මාන උළෙලට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් වීරසූරිය, LankaPay හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා යන මහත්වරුන් ඇතු`ඵ ඩිජිටල් මූල්‍ය අංශයේ ප්‍රමුඛයන් හා විශේෂඥයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ. 

මහජන බැංකුව නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලීන් පතිරණගේ, ප්‍රධාන ඩිජිටල් නිලධාරී මංගල කාරියවසම් සහ කාඩ්පත් අංශ ප්‍රධානී ජයනාත් ඩයස් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට එක්විය.

මහජන බැංකුවේ ඩිජිටල් ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් වන මෙම People’s Pay යෙදවුම නූතන ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කළ ඉතා සරල හා පහසු යෙදවුමකි. QR ගෙවීම්, මුදල් හුවමාරු කිරීම, බිල්පත් ගෙවීම, රීලෝඩ් දැමීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් ඇතුළු සේවා  රැසක් මේ තුළින් ඉතා ආරක්ෂිත සිදුකරගත හැක. පහසුවෙන් ලියාපදිංචි වීමේ හැකියාව මෙන්ම බැංකු ගිණුම් කිහිපයක් සම්බන්ධ කිරීමේ හැකියාව හේතුවෙන් මේ වන විට People’s Pay ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් අතර වඩාත් ජනප්‍රිය හා විශ්වාසනිය ඩිජිටල් ගෙවීම් මාධ්‍යයක් බවට පත්ව තිබේ.  

ශ්‍රී  ලංකාවේ  බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ නව මං සලකුණක් සටහන් කරමින් 1961 වසරේ ආරම්භ වූ මහජන බැංකුව, 2015 වසරේදි ඩිජිටල් බැංකුකරණය වෙත පිවිසිණි. වර්තමානය වන විට මිලියන 15.3 කට අධික ගනුදෙනුකරුවන් සංඛ්‍යාවකින්  සමන්විත මහජන බැංකුව, නවින ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගම සහ නගරය සහ අතර පරතරය අවම කරමින්, සියලු දෙනාට මූල්‍ය පහසුකම් ලබාදීමට පෙරමුණ ගනි. මේ වන විට මහජන බැංකුවේ ඩිජිටල් ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 4.4කට අධිකය.  

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.  ‘ශ්‍රී ලාංකිය මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු බවට පත්වීමට මහජන බැංකුව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටිනවා. අඛණ්ඩව ජනතාව අතරට ඩිජිටල් සේවා ගෙනයාමෙන් 2030 ජාතික ඩිජිටල් උපායමාර්ගයට සහයෝගය ලබා දීමට කටයුතු කරන අප බැංකුව, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙරට ආර්ථිකයේ සුවිසල් පරිවර්තනයකට අවශ්‍ය දායකත්වය ලබා දීමට කැපවෙනවා.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.  “මෙරට ඩිජිටල් බැංකුකරණය තුළ මහජන බැංකුවේ නායකත්වය නැවත නැවතත් තහවුරු කරන මෙම සුවිශේෂි සම්මානය, නව නිමැයුම් සමඟ තවදුරටත් ඉදිරියට යාම සඳහා අපව සවිබල ගන්නනවා. අපගේ ගනුදෙනුකරුවන් වෙත සුවපහසු සේවාවක් පිරිනැමිමට මෙන්ම ශ්‍රී ලංකාව පුරා මූල්‍ය පහසුකම් ව්‍යාප්ත කිරීම සඳහා කැපවී සිටින මහජන බැංකුව ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය ඩිජිටල් සේවා තව දුරටත් ශක්තිමත් කිරීමට සූදානමින් සිටිනවා.’