බැටරි බලශක්ති ගබඩා පද්ධති ඇති සූර්ය විදුලි ඒකකයකට රුපියල් 45.80 ක මිලක්


රංජන් කස්තුරි 

වහලය මත සවි කර තිබෙන සූර්ය පැනල සඳහා බැටරි බල ශක්ති ගබඩා පද්ධති (BESS-Battery  Energy   Storage  Systems )  සවිකිරීමෙන් පසුව විදුලි ඒකකයක් සඳහා රුපියල් 45.80 ක මිලක් ගෙවීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

වහලය මත සවිකර ඇති සූර්ය පැනල සඳහා ප්‍රථම වතාවට මෙම බැටරි ගබඩා පද්ධති සවිකිරීමේ ක්‍රමවේදය හඳුන්වා දී තිබෙන අතර දැනටමත් සූර්ය පැනල හිමියන්ට එම බැටරි සවි කිරීමෙන් පසුව විදුලි ඒකකයක් සඳහා වන රුපියල් 45.80 ක ඉහළ මිලක් විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත හැකි බවද එම මණ්ඩලය සඳහන් කරයි.

දිවා කාලයේදී සූර්ය පැනල මගින් නිපදවන බලශක්තිය එම බැටරිවල ගබඩා කර තැබෙන අතර ඒවා අධික විදුලිය ඉල්ලු‍මක් පවතින රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියට මුදාහැරීමෙන් විශාල ප්‍රතිලාභක් ලබා ගැනීමේ අවස්ථාව උදාවී තිබෙන බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම නව ඉහළ ගාස්තු ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ දැනටමත් Net  Accounting   - Net  Plus   Net Plus Plus යන යෝජනා ක්‍රම යටතේ ක්‍රියාත්මක වන වහලය මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති සඳහාය.