රංජන් කස්තුරි
මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරා බදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පැවසීය. සුරා බදු දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4200 ක සුරා බදු ආදායමක් අපේක්ෂා කළද එය විශාල ලෙස ඉක්මවා ගොස් රුපියල් කෝටි 6100 ක ඉහළ බදු ආදායමක් එකතු කරගැනීම ජයග්‍රහණයකැයිද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එම විශාල සුරාබදු ආදායම එකතු කර ගැනීම සඳහා වසර මුල සිටම විශේෂ සැලැස්මක් ක්‍රියාවට නැංවූ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය. ඒ අනුව නීති විරෝධී මත්පැන් වැටලීම් වැඩි කළ අතර බදු නොගෙවා හොර පාරෙන් වෙළෙඳපොළට මත්පැන් පැමිණීම වැළැක්වීම සඳහාා ආරක්ෂණ ක්‍රියාවලිය දැඩි කළ බවද හෙතෙම සඳහන් කළේය.
මත්පැන් බෝතල්වල නිෂ්පාදිත දිනය හා සංකේත හඳුන්වා දීම සිදුකළ අතර එකතු නොකළ සුරා බදු එකතු කිරීම සඳහා නිලධාරීන් දිරිමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවද හෙතෙම සඳහන් කළේය. වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සහ දූෂණ අවම කරගැනීමට රජයේ තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් කරන වැඩපිළිවෙළට RAMIS පද්ධතිය හඳුන්වාදීම සිදුකළ බවද උදය කුමාර පෙරේරා මහතා කීවේය.
නීති විරෝධී මත්පැන් වැටලීමේ ක්‍රියාවලියට ඇතැම් පිරිස් වලින් බාධා පැමිණෙන බවක් දක්නට ලැබෙන නමුත් ඊට දේශපාලන අධිකාරියෙන් කිසිදු සහායක් නොලැබීම සුවිශේෂ දෙයකැයිද හෙතෙම කීවේය. සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසරේ දී රුපියල් කෝටි 24200 ක ආදායම් ඉලක්කයක් ලබා ගැනීමේ අරමුණෙන් දීප ව්‍යාප්ත මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කරන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.