ඩිජිටල් බදු, පළිගැනීමේ බදු, එක්සත් ජනපද නීති


මෙම ලිපියෙන්, ඩිජිටල් සේවා බදු (DSTs) සහ ඒවා අගය එකතු කළ බදු (VAT) වලින් වෙනස් වන ආකාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, විදේශ වෙළෙඳ භාවිතයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජනපදය භාවිත කරන නෛතික සහ ප්‍රතිපත්තිමය යාන්ත්‍රණ ගවේෂණය කරයි. එය ට්‍රම්ප් පරිපාලනය මෙම මෙවලම් උපායමාර්ගිකව භාවිත කිරීම, විශේෂයෙන් වෙළෙඳ තර්ජන , එනම් බොහෝ විට එක්සත් ජනපද තාක්ෂණික සමාගම් කෙරෙහි වෙනස් කොට සැලකීම සහ 1974 වෙළෙඳ පනතේ 301 වගන්තිය යටතේ ඩිජිටල් සේවා බදුවලට අභියෝග කිරීම සඳහා වන පරීක්ෂණ විශ්ලේෂණය කරයි. 


පළිගැනීමේ බදු සියයට 30 ට එකතු කිරීමට නියමිතය
ජනාධිපති ට්‍රම්ප් මෑතකදී නව තීරුබදු අනුපාත (ශ්‍රී ලංකාව සඳහා සියයට 30) එළිදැක්වීමෙන් අනතුරු ඇඟවූයේ, පළිගැනීමේ බදු සමග ප්‍රතිප්‍රහාර එල්ල කරන ඕනෑම ජාතියක් එම අධිභාර ඔවුන්ගේ පවතින එක්සත් ජනපද තීරුබදු බැඳීම් මත ඵලදායී ලෙස ගොඩගැසී ඇති බවයි. “කිසියම් හේතුවක් නිසා ඔබ ඔබේ තීරුබදු වැඩි කිරීමට තීරණය කරන්නේ නම්, ඔබ ඒවා වැඩි කිරීමට තෝරා ගන්නා සංඛ්‍යාව කුමක් වුවත්, එය අප අය කරන සියයට 30 ට එකතු කරනු ලැබේ” (2025 ජූලි 9 වැනිදා ධවල මන්දිරයෙන් ලැබුණු ලිපිය)


ඩිජිටල් වැට් බදු එදිරිව ඩිජිටල් සේවා බද්ද
ඔක්තෝබර් මාසයේ සිට හඳුන්වාදීමට නියමිත ඩිජිටල් වැට් බද්ද හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට අතිරේක සියයට 18 ක් සමග සියයට 30 ක් දක්වා ඉහළ දැමීමේ හැකියාව පිළිබඳ විවාදයේ කේන්ද්‍රීය කරුණක් වන්නේ, මූලික වශයෙන් වෙනස් ඩිජිටල් බදුකරණ ආකාර දෙකක් අතර පැතිරුණු ව්‍යාකූලත්වයයි: ඒ ඩිජිටල් අගය එකතු කළ බද්ද (VAT) සහ ඩිජිටල් සේවා බද්ද (DST) යි. 


ඩිජිටල් වැට් බද්ද: සම්මත පරිභෝජන බද්දක්
ඩිජිටල් වැට් යනු ඩිජිටල් සේවාවල අවසාන පරිශීලකයා මත පනවන ලද පරිභෝජනය මත පදනම් වූ බද්දකි. නිදසුනක් ලෙස, විද්‍යුත් වේදිකාවක් හරහා සේවා සපයන අනේවාසික ඩිජිටල් සේවා සපයන්නන් සඳහා ශ්‍රී ලංකාවේ සියයට 18 වැට් බද්දට අනුව, මෙම සමාගම් දේශීයව ලියාපදිංචි වී ප්‍රවාහය, මාර්ගගත ක්‍රීඩා හෝ වලාකුළු මත පදනම් වූ මෘදුකාංග වැනි සේවා මිලදී ගන්නා ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගෙන් වැට් බද්ද එකතු කළ යුතුය.
මෙම පද්ධතිය දේශීයව පරිභෝජනය කරන අනෙකුත් භාණ්ඩ හා සේවාවලට සැලකීම පිළිබිඹු කරන අතරම, බදු මධ්‍යස්ථතාව සහ සාධාරණත්වය සහතික කරයි. එය “ගමනාන්ත මූලධර්මය”‍ ලෙස හඳුන්වන භාවිතයේ ස්ථානයේ පරිභෝජනයට බදු අය කිරීම නිර්දේශ කරන ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ වැට්/ජීඑස්ටී මාර්ගෝපදේශ සමග ද සමපාත වන අතර, එය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් ඇතුළු ලොව පුරා රටවල් පුළුල් ලෙස සම්මත කර ගෙන ඇත.
ඩිජිටල් සේවා සඳහා වැට් හෝ ජීඑස්ටී යොදන කලාපයේ රටවල් කිහිපයක් මෑතකදී ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය වෙළෙඳ ප්‍රතිපත්තිය යටතේ අඩු කරන ලද එක්සත් ජනපද තීරුබදු අනුපාතවලින් ප්‍රතිලාභ ලබා ඇත. උදාහරණයක් ලෙස, බොහෝ ඩිජිටල් සේවාවන් සඳහා සියයට 18 ක ජීඑස්ටී බද්දක් පනවන ඉන්දියාවට, සියයට 26 ක එක්සත් ජනපද අඩු තීරුබදු අනුපාතයක් පවරා ඇත. ඒ හා සමානව, ඩිජිටල් සේවා සඳහා සියයට 5 ක වැට් බද්දක් ඇති වියට්නාමය, දැන් සියයට20 ක අඩු කළ එක්සත් ජනපද තීරුබදු අනුපාතයකට මුහුණ දෙයි. ඉන්දියාව මීට පෙර සමාන කිරීමේ බදු භාවිත කළද (ඉන්දියාවේ ඩිජිටල් සේවා බදු අනුවාදය) විදේශීය ආයතන විසින් සපයනු ලබන ඩිජිටල් සේවා සඳහා එහි ජීඑස්ටී අඛණ්ඩව යෙදීමෙන් වැට් බද්ද පුළුල් ලෙස පිළිගත් සහ සම්මත බදුකරණ ක්‍රමයක් ලෙස පවතින බව ඉස්මතු කරයි.


ඩිජිටල් සේවා බද්ද (ඩීඑස්ටී): ආදායම් මත පදනම් වූ බද්දක්
ඩිජිටල් සේවා බදු (ඩීඑස්ටී) මතු වූයේ රටවල් ඩිජිටල් ආර්ථිකයට බදු පැනවීමේ අයිතිය තහවුරු කර ගැනීමේ මාර්ගයක් ලෙසය, ඒ විශේෂයෙන් ගූගල්, ඇමේසන් සහ මේටා වැනි විශාල තාක්ෂණික සමාගම් විසින් බදු මග හැරීමට ප්‍රතිචාර වශයෙනි. මෙම සමාගම් බොහෝ විට ඔවුන්ගේ ලාභය අඩු බදු අධිකරණ බල ප්‍රදේශවලට මාරු කරමින්, භෞතික පැවැත්ම මත පදනම් වූ යල් පැන ගිය බදු නීති ගසාකයි. නවීන ගෝලීය බදු රාමුවක් නොමැති විට, රටවල් තම දේශසීමා තුළ ඩිජිටල් ක්‍රියාකාරකම්වලින් ආදායම ලබාගැනීම සඳහා ඩීඑස්ටී හඳුන්වා දුන්නේය. කෙසේ වෙතත්, මෙම ඒකපාර්ශ්වික බදුවලට එක්සත් ජනපදයෙන් විරෝධයක් ඇති වූ අතර, ඒවා වෙනස් කොට සැලකීමක් ලෙස සලකමින් වෙළෙඳ පියවර සමග පළිගැනීමට පටන් ගත්තේය. 
මෙම ආතතීන් විසඳීම සඳහා, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් ද්වි-ස්ථර විසඳුමක් යෝජනා කරනු ලැබුණි. ඒ පරිශීලක ස්ථානය මත පදනම්ව බදු අයිතිවාසිකම් නැවත වෙන් කරන පළමු ස්ථම්භය සහ සියයට15 ගෝලීය අවම ආයතනික බදු අනුපාතයක් නියම කරන දෙවැනි ස්ථම්භයයි. ඩීඑස්ටී යනු ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධාන රාමුවේ කොටසක් නොවන අතර, තාවකාලික පියවර ලෙස අදහස් කළත්, ගෝලීය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාද හේතුවෙන් බොහෝ රටවල් ඒවා අනුගමනය කළේය. ඊට වෙනස්ව, ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය ඩිජිටල් සේවා සඳහා වැට් බදු පද්ධති සඳහා සහාය දක්වමින්, දේශීය හා විදේශීය සැපයුම්කරුවන් අතර “මධ්‍යස්ථභාවය”‍, පරිභෝජන ස්ථානය මත පදනම් වූ බදුකරණය (ගමනාන්ත මූලධර්මය), අනේවාසික සැපයුම්කරුවන් සඳහා අනිවාර්ය ලියාපදිංචිය සහ ඩිජිටල් ගොනු කිරීම සහ විනිවිද පෙනෙන විගණන හරහා කාර්යක්ෂම පරිපාලනය වැනි මූලධර්ම අවධාරණය කරයි.
ඩීඑස්ටී මගින් ඉලක්ක කරනු ලබන්නේ මාර්ගගත වෙළෙඳ දැන්වීම්, සමාජ ජාලකරණය හෝ පරිශීලක දත්ත මුදල් ඉපැයීම වැනි අධිකරණ බල ප්‍රදේශයක් තුළ නිශ්චිත සේවාවන්ගෙන් ලබාගත් විශාල බහුජාතික ඩිජිටල් සමාගම්වල දළ ආදායමයි. මෙම බදු සැලසුම් කර ඇත්තේ ලාබ මාරු කිරීම සහ භෞතික පැවැත්මක් නොමැති රටක පුළුල් ලෙස ක්‍රියාත්මක වන ඩිජිටල් දැවැන්තයන්ගේ අඩු බදු අය කිරීම පිළිබඳ ගැටළු විසඳීම සඳහා ය. වැට් බදු මෙන් නොව, ඩීඑස්ටී පාරිභෝගිකයන් මත අය නොකෙරේ. එය සෘජුවම ආයතනික ආදායම් මත අය කරනු ලබන අතර, ජාත්‍යන්තර වෙළෙඳ සාකච්ඡාවලදී ඒවා වඩාත් මතභේදාත්මක වෙයි. 


ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය: ඩීඑස්ටී නොව වැට් පිළිබඳ පැහැදිලි අවස්ථාවක්
ශ්‍රී ලංකාවේ සියයට 18 බද්ද ඩීඑස්ටී නොව ඩිජිටල් වැට් බද්දක් බව අවධාරණය කිරීම වැදගත්ය. මෙම වෙනස ඉතා වැදගත් වන්නේ එක්සත් ජනපද වෙළෙඳ විමර්ශන සහ පළිගැනීමේ ක්‍රියාමාර්ග එක්සත් ජනපදය පදනම් කරගත් තාක්ෂණික සමාගම් කෙරෙහි වෙනස් කොට සැලකීමක් ලෙස සැලකෙන ඩීඑස්ටී පාලන තන්ත්‍ර වෙත පමණක් යොමු කර ඇති බැවිනි. ඊට වෙනස්ව, ජාත්‍යන්තර සම්මත අනුකූලව ඩිජිටල් වැට් යොදන රටවල් එක්සත් ජනපදයෙන් සමාන පරීක්ෂාවකට හෝ සම්බාධකවලට මුහුණ දී නොමැත. වර්තමානයේ රටවල් 100 කට අධික සංඛ්‍යාවක් දේශසීමා ඩිජිටල් සේවාවන් සඳහා වැට් අය කරන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.


ඇමරිකා එක්සත් ජනපදයේ නීති
1974 වෙළෙඳ පනතේ 301 වගන්තිය: උපායමාර්ගික එක්සත් ජනපද වෙළඳ බලාත්මක කිරීමේ මෙවලමක්
1974 වෙළෙඳ පනතේ 301 වැනි වගන්තිය එක්සත් ජනපද වෙළඳ බලාත්මක කිරීමේ අවි ගබඩාවේ බලවත්ම මෙවලමක් ලෙස පවතී. අසාධාරණ, වෙනස් කොට සැලකීම් හෝ ඇමරිකානු වාණිජ අවශ්‍යතාවලට හානිකර යැයි සැලකෙන විදේශීය වෙළෙඳ භාවිත විමර්ශනය කිරීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට එමගින් එක්සත් ජනපද වෙළඳ නියෝජිතයාට (USTR) බලය පවරයි.
වෙළෙඳ ගිවිසුම් උල්ලංඝනය කරන විදේශ ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා කිරීමට හෝ එක්සත් ජනපද ව්‍යාපාරවලට අවාසිදායක වන විදේශ ප්‍රතිපත්තිවලට එරෙහිව ක්‍රියා කිරීමට මෙම නීතියෙන් එක්සත් ජනපද වෙළඳ නියෝජිතයාට ඉඩ සලසයි. එම භාවිත ජාත්‍යන්තර නීතිය පැහැදිලිවම උල්ලංඝනය නොකළත් එය සැළකිල්ලට ගැනෙන්නේ නැත. මෙයට වෙළෙඳපොළ ප්‍රවේශයට ඇති බාධක, වෙනස් කොට සැලකීමේ බදු පාලන ක්‍රම හෝ බුද්ධිමය දේපළ ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකිරීම ඇතුළත් වේ.
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත විසින් හෝ එක්සත් ජනපද කර්මාන්තවලින් ලැබෙන පෙත්සම් මගින් විමර්ශන ආරම්භ කළ හැකිය. විමර්ශනය දියත් කළ පසු, ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ විදේශ රජය අතර උපදේශන සමඟිනි. විසඳුමක් නොලැබුණේ නම්, එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත විසින් ලෝක වෙළෙඳ සංවිධානය (WTO) යටතේ ඇති විධිමත් ආරවුල් විසඳීමේ යාන්ත්‍රණ වෙත කාරණය යොමු කළ හැකිය.
විදේශීය භාවිතය ක්‍රියාත්මක කළ හැකි බව පෙනී ගියහොත්, එක්සත් ජනපදයට තීරුබදු සහ ආනයන සීමා කිරීම්වල සිට වෙළෙඳ ප්‍රතිලාභ අත්හිටුවීම දක්වා පළිගැනීමේ පියවර පැනවිය හැකිය. විශේෂයෙන්, 301 වැනි වගන්තිය ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට ද ඉඩ සලසන අතර, ජාත්‍යන්තර තීන්දු එනතෙක් බලා නොසිට එක්සත් ජනපදයට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට එමඟින් ඉඩ සලසයි.
මෙම නම්‍යශීලීභාවය 301 වැනි වගන්තිය එක්සත් ජනපද ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීමට උත්සාහ කරන පරිපාලන සඳහා, විශේෂයෙන් තාක්ෂණය, ඩිජිටල් සේවා සහ නිෂ්පාදන වැනි අංශවල හිතකර මෙවලමක් බවට පත් කර ඇත. ගෝලීය වෙළෙඳ ගතිකත්වය පරිණාමය වන විට, සාධාරණ වෙළෙඳාම ක්‍රියාත්මක කිරීම සහ ඇමරිකානු සමාගම් සඳහා ක්‍රීඩා පිටිය සමතලා කිරීම සඳහා ප්‍රධාන යාන්ත්‍රණයක් ලෙස 301 වැනි වගන්තිය දිගටම සේවය කරයි.


අභ්‍යන්තර ආදායම් සංග්‍රහයේ (IRC) 891 වැනි වගන්තිය: නිද්‍රාශීලී නමුත් බලගතු එක්සත් ජනපද බදු පළිගැනීමේ මෙවලමක්
ගෝලීය බදු ආතතීන් ඉහළ යන විට, විශේෂයෙන් ඩිජිටල් සේවා බදු වටා, ආතතීන් ඉහළ යන විට, එක්සත් ජනපදය කලාතුරකින් භාවිත කරන නමුත් බලවත් ව්‍යවස්ථාපිත විධිවිධානයක් නැවත සලකා බැලීමට පටන් ගෙන තිබේ. ඒ අභ්‍යන්තර ආදායම් සංග්‍රහයේ 891 වැනි වගන්තියයි. මුලින් 1934 දී බලාත්මක කරන ලද මෙම නීතිය, ඇමරිකානුවන්ට වෙනස් කොට සැලකීමේ හෝ දේශභූමියෙන් බැහැර බදු පනවන රටවල පුරවැසියන් සහ සංස්ථා උපයන එක්සත් ජනපද මූලාශ්‍ර ආදායම මත බදු අනුපාත දෙගුණ කිරීමට එක්සත් ජනපද ජනාධිපතිවරයාට මෙමඟින් ඉඩ සලසයි.
891 වැනි වගන්තිය යටතේ, වාණිජ දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයා සමග වැඩ කරන එක්සත් ජනපද භාණ්ඩාගාරය, විදේශ රටක් තම බදු ප්‍රතිපත්ති හරහා එක්සත් ජනපද ව්‍යාපාර හෝ පුද්ගලයින් අසාධාරණ ලෙස ඉලක්ක කරන බව තීරණය කළහොත්,ලාභාංශ, පොලී, රාජකීය මුදල් සහ එක්සත් ජනපදයේ සිදු කරන සේවාවන් සඳහා වන්දි වැනි ආදායම් සඳහා සැලකිය යුතු ලෙස ඉහළ බදු අනුපාතවලට අවසර දීමට ජනාධිපතිවරයාට හැකිය.
මෙම විධිවිධානය කිසිදා ක්‍රියාත්මක කර නොමැති අතර, එහි යෙදුම බොහෝ දුරට න්‍යායාත්මකව පවතී. කෙසේ වෙතත්, මෑතකාලීන විධායක සංදේශ, විශේෂයෙන් එක්සත් ජනපද තාක්ෂණික සමාගම්වලට අසමාන ලෙස බලපාන බව සැලකෙන ඩීඑස්ටී බදු ක්‍රියාත්මක කර ඇති රටවලට එරෙහිව, පළිගැනීමේ පියවරක් ලෙස 891 වැනි වගන්තිය භාවිත කිරීමට ට්‍රම්ප් පරිපාලනය කැමැත්තක් දක්වයි.
ව්‍යවස්ථාවේ සවිස්තරාත්මක ක්‍රියා පටිපාටික මග පෙන්වීමක් නොමැති අතර “‍වෙනස් කොට සැලකීමේ” බද්දක් යනු කුමක්ද යන්න නිර්වචනය කර නොමැත. එහි හුදු තර්ජනය වෙළෙඳ සාකච්ඡාවලදී උපායමාර්ගික ලීවරයක් ලෙස සේවය කළ හැකිය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම ගිවිසුම් අත්හිටුවීමට හෝ අවසන් කිරීමට තෝරා නොගන්නේ නම්, “පසුකාලීන” රීතිය යටතේ 891 වැනි වගන්තිය අබිබවා යා හැකි පවතින බදු ගිවිසුම් මගින් එහි කාර්යක්ෂමතාව සීමා කළ හැකිය.
අද දින වඩ වඩාත් සංකීර්ණ වන ජාත්‍යන්තර බදු පරිසරය තුළ, 891 වැනි වගන්තිය සංකේතාත්මක සහ උපායමාර්ගික මෙවලමක් නියෝජනය කරන අතර, එය රාජ්‍ය තාන්ත්‍රික සහ මූල්‍ය මාර්ග හරහා තම ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීමට එක්සත් ජනපද රජයේ සූදානම අවධාරණය කරයි.
අභ්‍යන්තර ආදායම් සංග්‍රහය, යෝජිත 899 වැනි වගන්තිය : විදේශීය ඩිජිටල් බදු සඳහා එක්සත් ජනපද බදු ප්‍රතිචාරය
වෙනස් කොට සැලකීමේ විදේශීය බදු පාලන තන්ත්‍ර ලෙස සලකන දෙයට එරෙහිව සැලකිය යුතු පියවරක් ලෙස, එක්සත් ජනපද කොංග්‍රසය 2025 ‘‘One Big Beautiful Bill Act’’ හි කොටසක් ලෙස අභ්‍යන්තර ආදායම් සංග්‍රහයේ 899 වගන්තියේ නව විධිවිධානයක් යෝජනා කර ඇත. මෙම යෝජිත නීති සම්පාදනයේ අරමුණ වන්නේ එවැනි ප්‍රතිපත්ති අනුගමනය කරන රටවලින් පැමිණෙන ආයතන සඳහා පළිගැනීමේ බදු වැඩි කිරීම් පැනවීමෙන් ඩිජිටල් සේවා බදු, බදු යටතේ ලාභ නීති සහ හරවන ලද ලාබ බදු වැනි විදේශීය බදු පියවරවලින් ඇමරිකානු ව්‍යාපාර ආරක්ෂා කිරීමය.
899 වැනි වගන්තිය මගින් “අසාධාරණ විදේශීය බදු” ඇති රටවල් නම් කිරීමට සහ එම අධිකරණ බල ප්‍රදේශවලින් පුද්ගලයන්, සංස්ථා සහ රජයන් උපයන එක්සත් ජනපද මූලාශ්‍ර ආදායම මත ක්‍රමානුකූල අධිභාර පැනවීමට එක්සත් ජනපද භාණ්ඩාගාරයට බලය පවරනු ඇත. අධිභාරය සියයට5 කින් ආරම්භ වන අතර, වාර්ෂිකව ලාභාංශ, පොලී, රාජකීය මුදල් සහ දේපළ වෙළඳාම් ලාබ වැනි අයිතම සඳහා සම්මත බදු අනුපාතයට වඩා සියයට 20 දක්වා වැඩි වනු ඇත.
මෙම යෝජනාව මගින් ඉලක්කගත රටවලින් පැමිණෙන විදේශීය හිමිකාරීත්වය සහිත එක්සත් ජනපද සමාගම් සඳහා මූලික ඛාදන සහ ප්‍රතිඅපයෝජන බද්ද පුළුල් කරයි. සැළකිය යුතු ලෙස, එය ඩොලර් මිලියන 500ක දළ ලැබීම් සීමාව ඉවත් කරන අතර, අවම මූලික ඛාදනයකදී පවා බද්ද අදාළ වේ. මෙම “සුපිරි මූලික ඛාදන සහ ප්‍රති අපයෝජන බද්ද” නිර්මාණය කර ඇත්තේ හිඩැස් වැසීමට සහ විදේශීය බහුජාතික සමාගම්වලට ආක්‍රමණශීලී ව්‍යුහගත කිරීම හරහා එක්සත් ජනපද බදු බැඳීම් වළක්වා ගත නොහැකි බව සහතික කිරීමට ය.
සමහර විට වඩාත්ම මතභේදාත්මක ලෙස, 899 වැනි වගන්තිය එක්සත් ජනපදයට පවතින බදු ගිවිසුම් ප්‍රතිලාභ අබිබවා යාමට ඉඩ දෙනු ඇත. නිදසුනක් වශයෙන්, දිගුකාලීන ද්විපාර්ශ්වික ගිවිසුම් ඵලදායී ලෙස අවලංගු කරමින් වසර හතරක අධිභාර වැඩිවීමෙන් පසු ගිවිසුමක් මගින් අඩු කරන ලද සියයට 5 ක රඳවා ගැනීමේ අනුපාතයක් සියයට25 දක්වා ඉහළ යා හැකිය.
මෙම නීතිය විදේශීය රජයන්, පදිංචිකරුවන්, සංස්ථා සහ නම් කරන ලද රටවල භාරයන් ඇතුළු පුළුල් පරාසයක “‍අදාළ පුද්ගලයන්” සඳහා අදාළ වේ. කෙසේ වෙතත්, එක්සත් ජනපදය පාලනය කරන විදේශීය ආයතන (අවම වශයෙන් සියයට 50 එක්සත් ජනපද හිමිකාරිත්වයක් සහිත) සහ සම්මත ආදායම හෝ වැට් බදු පාලන තන්ත්‍රයන් නිදහස් කරනු ලැබේ. ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා, භාණ්ඩාගාරය විසින් වරදකාරී අධිකරණ බල ප්‍රදේශවල කාර්තුමය ලැයිස්තු ප්‍රකාශයට පත් කරනු ඇත. රටක් එහි අසාධාරණ බද්ද අවලංගු කළ පසු, එක්සත් ජනපද අධිභාර අනාගත පදනමක් මත ඉවත් කරනු ලැබේ. තවමත් යෝජනා අවධියේ තිබුණද, 899 වැනි වගන්තිය ජාත්‍යන්තර බදු ආරවුල් සම්බන්ධයෙන් වඩාත් ආක්‍රමණශීලී එක්සත් ජනපද ස්ථාවරයක් සංඥා කරයි. බලාත්මක කළහොත්, ඊට ගෝලීය බදු භූ දර්ශනය නැවත සකස් කළ හැකි අතර, එය ඒකපාර්ශ්වික ඩිජිටල් බදු පියවර සලකා බලන රටවල් සඳහා කොටස් ඉහළ නංවන අතර එහි බදු පදනම සහ බහුජාතික තරගකාරිත්වය ආරක්ෂා කිරීමට එක්සත් ජනපද කැපවීම ශක්තිමත් කරයි.


ට්‍රම්ප් පරිපාලනය විදේශීය ඩිජිටල් බදුවලට එරෙහි විරෝධය තීව්‍ර කරයි
ට්‍රම්ප් පරිපාලනය ඩිජිටල් සේවා බදුවලට එරෙහිව දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර, ගූගල්, ඇමේසන්, මේටා සහ ඇපල් වැනි ඇමරිකානු තාක්ෂණික දැවැන්තයන් අසාධාරණ ලෙස ඉලක්ක කර ඇති බවට තර්ක කරයි. රටවල් කිහිපයක් හඳුන්වා දුන් මෙම බදු, වොෂින්ටනය විසින් ඩිජිටල් සේවා සඳහා තථ්‍ය ආනයන තීරුබදු ලෙස සලකනු ලැබූ අතර, එය එක්සත් ජනපද ආර්ථික හා ජාතික අවශ්‍යතාවලට තර්ජනයක් ලෙසින් සලකයි. ඊට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජනපදය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ කැනඩාව වැනි රටවල ඩිජිටල් සේවා බදු පාලන තන්ත්‍රයන් සම්බන්ධයෙන් 301 වැනි වගන්තියේ විමර්ශන දියත් කළ අතර, බදු ලාබ වෙනුවට ආදායම ඉලක්ක කර ගනිමින් වෙනස් කොට සැලකීමක් සහ ගෝලීය බදු සම්මත උල්ලංඝනය කිරීමක් බව නිගමනය කළේය.
මෙම ආක්‍රමණශීලී වෙළෙඳ ස්ථාවරය නිසා රටවල් කිහිපයක්ම ඔවුන්ගේ ඩිජිටල් බදු සේවා බදු උපාය මාර්ගය නැවත සිතා බැලීමට පෙළඹවීය. නිදසුනක් වශයෙන්, ඉන්දියාව, 2025 අප්‍රේල් 1 වැනිදා සහ 2024 අගෝස්තු 1 වැනිදා පිළිවෙළින් ඩිජිටල් වෙළෙඳ දැන්වීම් සඳහා සියයට6 ක් අය කරන ලද සමාන කිරීමේ බද්ද සහ විදේශීය ඊ-වාණිජ්‍ය වේදිකා සඳහා සියයට2 ක බද්ද අවලංගු කළේය. ඩීඑස්ටී ලෙස ක්‍රියාත්මක වූ මෙම බදු, සාම්ප්‍රදායික බදු ගිවිසුම් මගහැරීමක් ලෙස සලකනු ලැබූ අතර, සම්බන්ධීකරණ ගෝලීය බදු පද්ධතියක් සඳහා ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ පළමු ස්ථම්භ රාමුවට ඉන්දියාවේ කැපවීමේ කොටසක් ලෙස සහ අවදානමට ලක්විය හැකි ගෝලීය වෙළෙඳ පරිසරය හේතුවෙන් ඉවත් කරන ලදී. කෙසේ වෙතත්, එය දේශසීමා ඩිජිටල් සේවා සඳහා සියයට18 ජීඑස්ටී (ශ්‍රී ලංකාවට සමාන ඩිජිටල් වැට්) අය කිරීම දිගටම කරගෙන යයි.
කැනඩාව ද ඒ හා සමාන මාවතක් අනුගමනය කළේය. 2022 සිට ප්‍රතිගාමීව ක්‍රියාත්මක වන පරිදි 2024 ජුනි මාසයේදී සියයට3 ක ඩීඑස්ටී බද්දක් සම්මත කළද, එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත. කැනඩා ආදායම් ඒජන්සිය මෑතකදී නිවේදනය කළේ ව්‍යාපාර තවදුරටත් ඩීඑස්ටී ප්‍රතිලාභ ගොනු කිරීම අවශ්‍ය නොවන බවත්, බද්ද අවලංගු කිරීම සඳහා නීති සම්පාදනය කිරීම අපේක්ෂා කරන බවත්ය.
මෙම වර්ධනය ඒකපාර්ශ්වික ඩිජිටල් බදු අධෛර්යවත් කිරීමට සහ බහුපාර්ශ්වික විසඳුම් ප්‍රවර්ධනය කිරීමට වෙළෙඳ මෙවලම් භාවිත කිරීමේ පුළුල් එක්සත් ජනපද උපාය මාර්ගයක් පිළිබිඹු කරයි. තීරණාත්මක ලෙස, එක්සත් ජනපද විපක්ෂය වැට් වැනි සම්මත පරිභෝජන බදු නොව ආදායම් පාදක ඩීඑස්ටී කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම වෙනසෙන් ඇඟවෙන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් වැට් බද්ද ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ මූලධර්මවලට අනුකූල පරිභෝජන බද්දක් වීම නිසා සමාන තල්ලු‍වක් ආකර්ෂණය කර ගැනීමට අපහසු බවයි.
වැරැදි වැටහීම් පැහැදිලි කිරීම: ශ්‍රී ලංකාවේ ඩිජිටල් වැට් බද්ද එක්සත් ජනපද තීරුබදු සඳහා ප්‍රේරකයක් නොවේ
ශ්‍රී ලංකාව අනේවාසික ඩිජිටල් සේවා සපයන්නන් සඳහා අලු‍තින් හඳුන්වා දුන් සියයට 18 වැට් බද්ද අපනයන සඳහා පවතින සියයට 30 බද්දට අමතරව, අතිරේක එක්සත් ජනපද තීරුබදු පැනවිය හැකි බවට මෑතකදී පළ වූ සමපේක්ෂණය අනවශ්‍ය අනතුරු ඇඟවීමක් ඇති කර තිබේ. මෙම උත්සුක පදනම් වී ඇත්තේ ජාත්‍යන්තර බදු සම්මතය සහ එක්සත් ජනපද වෙළෙඳ බලාත්මක කිරීමේ ඉතිහාසය පිළිබඳ වැරැදි අවබෝධයක් මතය.
එක්සත් ජනපදය ඓතිහාසිකව විශාල බහුජාතික තාක්ෂණික සමාගම් ඉලක්ක කර ගනිමින් සාම්ප්‍රදායික බදු ගිවිසුම් මඟ හරින ආදායම් මත පදනම් වූ බද්දක් වන ඩිජිටල් සේවා බදුවලට විරුද්ධ වී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වැට් බද්ද පරිභෝජන බද්දක් වන අතර, සැපයුම්කරුගේ ජාතිකත්වය නොසලකා රට තුළ පරිභෝජනය කරන සියලු‍ම ඩිජිටල් සේවා සඳහා ඒකාකාරව අදාළ වේ. එය OECD මාර්ගෝපදේශ අනුගමනය කරන අතර ඉන්දියාව, වියට්නාමය වැනි රටවල භාවිත වන වැට් බදු පද්ධතිවලට සමාන වේ.
වෙළෙඳ පනතේ 301 වැනි වගන්තිය යටතේ එක්සත් ජනපද විමර්ශන සහ පළිගැනීමේ තීරුබදු පැනවීමට හේතු වූ ඩීඑස්ටී මෙන් නොව, ඩිජිටල් වැට් බද්ද එවැනි පියවරවලට යටත් වී නොමැත. එක්සත් ජනපද විරෝධතා සම්මත වැට් පාලන තන්ත්‍ර  මත නොව වෙනස් කොට සැලකීමේ සහ ලාබ හැරවීමේ බදු කෙරෙහි අවධානය යොමු කර ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ වැට් බද්දට එරෙහිව වෙළෙඳ පළිගැනීමේ බිය පදනම් විරහිත ය, මන්ද එය 301 වැනි වගන්තියේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයාගේ විමර්ශනවල විෂය පථයට අයත් නොවන නිසාය.
වැට් බද්ද හඳුන්වාදීමේ කාලය ගෝලීය වෙළෙඳ ආතතීන් සමග සමපාත විය හැකි වුවද, එම ප්‍රතිපත්තියම ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය නවීකරණය කිරීමට සහ පුළුල් වන ඩිජිටල් ආර්ථිකයෙන් ආදායම ලබා ගැනීමට නීත්‍යනුකූල උත්සාහයක් පිළිබිඹු කරයි. දැන් වැට් බද්ද ආපසු හැරවීමෙන් ප්‍රතිපත්තිමය අනනුකූලතාව සංඥා කිරීමේ අවදානමක් ඇති කරන අතර, මූල්‍ය ප්‍රතිසංස්කරණ අඩපණ කරයි.
ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවට ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට (B2B) ගනුදෙනු සඳහා ප්‍රතිලෝම අයකිරීමේ යාන්ත්‍රණයක් යෙදීම, වැට් වගකීම දේශීය ලබන්නන් වෙත මාරු කිරීම සහ විදේශීය සැපයුම්කරුවන් සඳහා අනුකූලතාව ලිහිල් කිරීම සලකා බැලිය හැකිය. ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට (B2C) සේවා සඳහා, විදේශීය සැපයුම්කරුවන්ට වැට් බදු ලියාපදිංචි කර එකතු කිරීම අවශ්‍ය කිරීම හරහා සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව සහතික කරනු ඇත.
නිගමනයක් ලෙස, ශ්‍රී ලංකාවේ ඩිජිටල් වැට් බද්ද ගෝලීය වශයෙන් පෙළගස්වන ලද, වෙනස් කොට සැලකීම් නොකරන බදු පියවරකි. ඊට එක්සත් ජනපද වෙළෙඳ පළිගැනීම් ආකර්ෂණය කර ගැනීමට අපහසු වන අතර, එය රටේ බදු රාමුව ශක්තිමත් කිරීමේ ඉදිරි පියවරක් ලෙස සැලකිය යුතුය.

“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ 
අනිල් කරුණාරත්න