සීතල උඩරට උණුසුම් කරන දියවඩන නිලමේ සටන


බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සලකන දළදා වහන්සේ ගේ ගිහි භාරකාරත්වය හිමිවන්නේ දියවඩන නිලමේවරයාටය. ඔහු බෞද්ධයාගේ නායකයා (රජ්ජුරුවෝ)ලෙස ද සලකන්නේය.

මෙම නිලමේවරයා පත්කිරීමේ දී රජ සමයේ සිට සම්ප්‍රදායක්  පවතින අතර, ඒ සඳහා නීතිරීති අණ පනත් ද පවතින්නේය.

දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා පත්වන දියවඩන නිලමේ වරයාට ඒ සඳහා වසර දහයක වගකීමක් පැවරෙන අතර, මොහු පත් කිරීමේ දී ඡන්ද විමසීමක් සිදු කළ ද, එය  නිලවරණයක් නොව විහාරගම් දේවාල පනත අනුව කැඳවන ලද රැස්වීමක මත විමසීමක් වන්නේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් පත් වන්නේ රටේ සමස්ත ජනතාවගේ නායකයා ලෙසය. ඔහු ගේ නිල කාලය වසර පහකි. ඔහුට එම ධුරයට පත්වීමට මෙරට ජනතාවගෙන් සියයට 51 කට වැඩි පිරිසක් කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. එහෙත් මෙරට බෞද්ධ ජනතාවගේ නායකයා ලෙස පිළිගැනෙන ශ්‍රී  දළදා මාලිගාවේ දියවඩන නිලමේ පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැකි ලියාපදිංචි පිරිස හාරසීයකට අඩුය. එයින් ඡන්දය පාවිච්චි කළ හැකි පිරිස ද තුන්සියයකටත් අඩුය. ඒ අනුව දියවඩන නිලමේවරයා පත් කර ගැනීමට ලබාගත යුතු ඡන්ද සංඛ්‍යාව හැටේ සිට සියය දක්වා ප්‍රමාණයකි.

මෙම සංඛ්‍යාව සුළු ලෙස පෙනුණ ද එය උඩරට රාජධානියට අයත් දිස්ත්‍රික්ක දාසයක් පුරා පැතිර පවතින්නේය.

මේ දිනවල රටේ පවතින එක් සීතල යුද්ධයක් වන්නේ දියවඩන නිලමේ නිලවරණයයි. මේ වන විටත් හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ට අමතරව තවත් පස් දෙනෙකු දියවඩන නිලමේ නිලවරණයට ඉදිරිපත් වන බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට දැනුම් දී තිබේ.

ඒ අතර මහනුවර, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ, නාථ දේවාලයේ බස්නායක නිලමේ සරත් බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය තිලක් සඳරුවන් සුබසිංහ,  පී.එම්. රෝෂාන් ප්‍රියදර්ශන හා ගාමිණී කළුහෙන්දිවෙල යන අය සිටිති.

මෙයින් ආචාර්ය සුබසිංහ හැර අනෙකුත් සියලු‍ දෙනාම දැනටමත් දේවාල වල බස්නායක නිලමේ තනතුරු උසුලන අය ය.

මේ වනවිට දියවඩන නිලමේ තනතුරේ නිල කාලය අවසන්ව ඇති අතර, දැනට වැඩබලන දියවඩන නිලමේවරයකු පත් කර ඇත. මල්වතු අස්ගිරි මහානා හිමිවරුන්ගේ අනුමැතිය ඇතිව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල  පත්කර ඇත. වසර විස්සක්ම එම තනතුරේ කටයුතු කර ඇති ඔහු මෙවර ද නිලවරණයට ඉදිරිපත් වී ඇත.
1814 සිට මේ දක්වා දියවඩන නිලමේවරු දහනම දෙනෙකු කටයුතු කර ඇති අතර, දහනව වැන්නා ප්‍රදීප් නිලංග දෑල යන්ය. මෙම දහනව දෙනා ගෙන් වැඩිම වසර ගණනන් එක දිගට නිලමේ ධුරය දරා ඇත්තේ  පුංචි බණ්ඩා නුගවෙල නිලමේ තුමන් ය. එතුමාගේ නිල කාලය (1916 - 1937) වසර 21 කි. එමෙන්ම ඉතිහාසයේ අඩුම කාලයක් දියවඩන නිලමේ ධුරය දරා ඇත්තේ කුඩා මොල්ලිගොඩ නිලමේතුමාය. ඔහු ගේ නිල කාලය වසරක් පමණි. (1827 - 1828)

හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලයන් 2005 සිට දෙවතාවක් එම ධුරයට පත්ව වසර විස්සක් එක දිගට දියවඩන නිලමේ ධුරයේ කටයුතු කර ඇත. ඔහුගේ ධුර කාලය ඉකුත් 7දායින් අවසන් වීමෙන් පසුව නව දියවඩන නිලමේවරයකු පත් කර ගන්නා තුරු වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදීප් නිලංග දෑල යන්ව පත් කරන්නට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර ඇත්තේ විහාර දේවාලගම් පනතින් ඔහුට පැවැරී ඇති බලතල අනුවය.

මේ වන විට දියවඩන නිලමේ නිලවරණයට තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති පුද්ගලයින්ට සත්‍ය වශයෙන්ම මෙම තරගයට ඉදිරිපත් විය හැක්කේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් කැඳවන රැස්වීමේ දී ඔහුගේ නම යෝජනා වී ස්ථිර වුවහොත් පමණි. එම රැස්වීමේ දී එක් නමකට වැඩිය යෝජනා වී ඒ හැම යෝජනාවක්ම ස්ථිර වුවහොත් පමණක් ඡන්ද විමසීමක් සිදු කළ යුතුය.

ඒ කෙසේ වෙතත් ප්‍රදීප් නිලංග දෑල වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කිරීමට එරෙහිව ගම්පොල සාලිය ප්‍රසාද් නන්දසිරි නැමැති අය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එය මේ මස 23දා සලකා බැලීමට ද අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න සඳහන් කරන්නේ තමන්ට පැවැරී ඇති බලතල අනුව තමන් කටයුතු කර ඇති බවය. 

“දියවඩන නිලමේ තනතුර පුරප්පාඩු වුණාම කටයුතු කළ යුතු ආකාරය විහාර දේවාලගම් පනතේ සඳහන් වෙනවා. ඒ අනුව තමයි මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාව ලබාගෙන වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පත් කරන්නට කටයුතු කරනු ලැබුවේ. එහි වරදක් තිබෙනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න මෙරට පුරවැසියන්ට තිබෙන අයිතියට මම ගරු කරනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් මට කැඳවීමක් ලැබුණොත් මම අධිකරණයේ පෙනී සිට වැඩබලන දියවඩන නිලමේවරයකු පත් කර ගැනීම සඳහා දැනට තිබෙන නීතිමය ප්‍රතිපාදන ගැන කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.” 

කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

මෙවර දියවඩන නිලමේ නිලවරණයට මේ වන විටත් පුද්ගලයින් හය දෙනෙකු දිරිපත් වන බව නිවේදනය කර ඇත්තේය. එහෙත් එම නිවේදනයන් නිල නිවේදනයන් ලෙස පිළිගැනීමකට ලක්වන්නේ නැත. ඊට හේතුව වන්නේ දියවඩන නිලමේ පත් කර ගැනීමේ වගකීම ඇත්තේ මල්වතු අස්ගිරි උභය විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ගේ එකඟතාව අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාටය. ඒ අනුව සම්ප්‍රදායානුකූලව උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක දහයක් තුළ පිහිටි රාජමහා විහාරස්ථාන157 ක භාරකාර හිමිවරුන් ප්‍රාදේශීය ලේකම්වරු170 ක් දේවාලවල බස්නායක නිලමේවරු 31 ක් හා විහාරවල හා දේවාලවල ගිහි භාරකරුවන් හතර දෙනෙකු ඇතුළු 362 දෙනෙකුට මෙවර දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ  ඡන්ද අයිතිය හිමිව තිබේ.

එහෙත් 1939අංක19 දරන විහාර දේවාලගම් පනත අනුව මෙම නිලවරණයට ඡන්ද අයිතිය ඇති නමුත් කාන්තාවන් හා අන්‍ය ආගමික වූ ප්‍රාදේශීය ලේකම්වරුන් 95 දෙනෙකුට පමණ මෙවර දියවඩන නිලමේ නිලවරණයට ඡන්දය දීමෙන් වැලකී සිටින්නට සිදුව තිබේ. ඒ අනුව මෙවර දියවඩන නිලමේ නිලවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත්තේ ලියාපදිංචි ඡන්ද දායකයින් 267 දෙනෙකුට පමණි. එයින් 157 බෞද්ධ භික්ෂූන් වහන්සේලා වීමද විශේෂත්වයකි. ඒ අනුව දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ රැස්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ගෙන් කැඳවීම් ලිපි ලැබෙන්නේ 267දෙනෙකුටය.

මෙවර තීරණාත්මක ඡන්දය භික්ෂූන් වහන්සේලා අත රැඳී ඇතැයි ද සිතිය හැක. ඊට හේතුව වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 51 ක් පමණම උන්වහන්සේලා සතුව තිබීම ය.

ඡන්ද267 ක් දියවඩන නිලමේ තරගයට ඉදිරිපත් වී ඇති පුද්ගලයින් හය දෙනා අතර ඡන්දය බෙදී ගියහොත්, මෙවර දියවඩන නිලමේවරයා ලෙස පත්වීමට ඡන්ද පනහක් ලබා ගැනීම ප්‍රමාණවත් විය හැකිය. කෙසේ නමුත් මේ වන විට දියවඩන නිලමේ නිලවරණයට තමන් ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති පුද්ගලයින්ට සත්‍ය වශයෙන්ම මෙම තරගයට ඉදිරිපත් විය හැක්කේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් කැඳවන රැස්වීමේ දී ඔහුගේ නම යෝජනා වී ස්ථිර වුවහොත් පමණි. එම රැස්වීමේ දී එක් නමකට වැඩිය යෝජනා වී ඒ හැම යෝජනාවක්ම ස්ථිර වුවහොත් පමණක් ඡන්ද විමසීමක් සිදු කළ යුතුය.

කෙනෙකුගේ නමක් යෝජනා වුවත් ඒ යෝජනාව ස්ථිර නොවුණහොත් ඔහුට නිලවරණයට ඉදිරිපත් විය නොහැකිය. ඒ අනුව මහනාහිමිවරුන් හමු වී තමන් දියවඩන නිලමේ තනතුරට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර සිටින සියලු‍ දෙනාගේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කැඳවන රැස්වීමේදී යෝජනා නොවීමට ද ඉඩ ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මෙසේ සඳහන් කෙළේය.

“විහාර දේවාලගම් පනත අනුව දියවඩන නිලමේ තනතුර පුරප්පාඩු වී මාස තුනක් ඇතුළත උඩරට රාජධානිය ලෙස පිළිගත් ප්‍රදේශයේ පනතේ සඳහන් නිර්ණායකයන්ට අදාල විහාරස්ථානවල භාරකාරීත්වය ඇති හිමිවරු, බස්නායක නිලමේවරු, ප්‍රාදේශීය ලේකම්වරු හා ගිහි භාරකාරීත්වය උසුලන විහාර හා දේවාලවල භාරකරුවන් කියන අය කැඳවලා පුරප්පාඩු වී ඇති දියවඩන නිලමේ තනතුරට  සුදුසු අයෙක් පත්කර ගන්න අවස්ථාව ලබා දෙනවා. ඊට පෙර මේ පුරප්පාඩුව ගැනත් ඒ පුරප්පාඩුව සඳහා සුදුසු අයෙකු පත් කර ගැනීමේ රැස්වීම පැවැත්වෙන දිනයත්, රැස්වීම පැවැත්වෙන ස්ථානය ආදියත්, කලින් දැනුම් දෙනවා. ඒ අනුව නියමිත දිනයේ රැස්වීමට පැමිණි අය අතුරින් තමයි සුදුසු කෙනෙකු දියවඩන නිලමේ තනතුරට පත් කර ගන්නේ. ඒ තැනැත්තා වයස අවුරුදු හැත්තෑව නොඉක්ම වූ අයෙකු විය යුතු වෙනවා. එදින රැස්වීමේ දී දියවඩන නිලමේ තනතුරට නාම යෝජනා කීපයක් ඉදිරිපත් වුණොත් ඡන්ද විමසීමක් කරන්න වෙයි. එහෙම නැතුව එක් නමක් පමණක් යෝජනා වුණොත් දියවඩන නිලමේ තනතුරට නිතරගයෙන් අයෙක්  පත්වුණා සේ සැලකෙනවා.” 
ඒ අනුව දැනටමත් තමන් දියවඩන නිලමේ නිලවරණයට ඉදිරිපත් වෙනවා යැයි කීවත් ඒ ප්‍රකාශ නිලවශයෙන් පිළිගැනීමකට ලක් වූවා සේ නොසැලකේ.

කෙසේ නමුත් හිටපු හා වත්මන් වැඩබලන නිලමේ මෙවරත් දියවඩන නිලවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇත. ඔහු මෙවර තේරීපත් වුවහොත් දියවඩන නිලමේ වංශකතාවේ වැඩිම කාලයක් වැඩිම වාර ගණනකින් දියවඩන නිලමේ ධුරයට පත් වූ අයෙකු ලෙස ඉතිහාසයට එක් වනු ඇත. ඔහු වසර විස්සක් දියවඩන නිලමේ ධුරයේ කටයුතු කර තව දුරටත් එකී තනතුරට ඉදිරිපත් වන්නේ ඇයි දැයි අපි විමසුවෙමු.

“ඇත්තටම මම විශ්වාස කරනවා දියවඩන නිලමේ ධුරයේ සිටිමින් පසුගිය වසර විස්සක කාලය තුළ මවිසින් ඉටු කර ඇති විශාල කාර්යය නිම කළ යුතුයි කියලා. ලෝක බෞද්ධ ප්‍රජාවට ඉතාම ප්‍රියමනාප හා පහසුකම් සහිත තැනක් බවට ශ්‍රී දළදා මාලිගාව පත් කරගන්න පසුගිය කාලයේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම බෞද්ධ ජනතාව වෙනුවෙන් බෞද්ධ ධර්මය උගන්වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කර තිබෙනවා. ලෝක බෞද්ධ කෞතුකාගාරයක් ඉදිකර තිබෙනවා. සාමාන්‍ය කැමරාවක් වත් නොතිබුණ ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල පෙරහර සජීවීව විකාශය කළ හැකි අංගසම්පූර්ණ මාධ්‍ය ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. මේ ආකාරයට දළදා මාලිගාවේ අදායම වියදම ඉතාමත් විනිවිදභාවයෙන් යුතුව කළමනාකරණය කර ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. මෙවැනි කටයුතුවල තව පියවර රැසක් ඉදිරියේ ඉටු කරන්න තිබෙනවා. ඒ කටයුතු නිම කරන්න තමයි මෙවරත් නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කරනු ලැබුවේ.”  නිලංග දෑලයන් සඳහන් කළේය.

මේ අතර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණයන් පෙන්වා දෙන්නේ නව වැදෑරුම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී දළදා මාලිගාව ලෝකයේ බෞද්ධ මධ්‍යස්ථානය බවට පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තමන් මෙම නිලවරණයට ඉදිරිපත් වූ බවය. “හිටපු දියවඩන නිලමේ නිලංග දෑලයන් එතුමාගේ නිල කාලය තුළ විශාල සේවාවක් සිදුකර තිබෙනවා. අපි බෞද්ධයෝ විදියට කුහක නොවී ඒ දේ අගය කළ යුතුයි. මම විශ්වාස කරනවා මගේ බස්නායක නිලමේ අත්දැකීම් සමග කළපුරුද්ද, දැකපුරුද්ද හා පළපුරුද්ද එක්ක ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගෙන මෙරට මෙන්ම විදෙස් රටවල බෞද්ධ ජනතාවට උසස් සේවාවක් කරන්න පුළුවන් කියල. අනෙක මගේ අත්තා කෙනෙකු වූ උඩුරාවණ නිලමේත් දියවඩන නිලමේ තනතුර දරා තිබෙන නිසා, ඒ උරුමයත් මේ තනතුර සඳහා ඉදිරිපත් වීමට පෙලඹවීමක් සිදු කළා කියලත් කියන්න ඕනේ.”  දමින්ද උඩුරාවණයන් පෙන්වා දෙන්නේය. එසේම දියවඩන නිලමේ තනතුර සඳහා ලබා දෙන කිසිදු වරප්‍රසාදයක් තමා ලබා නොගැනීමට ද තීන්දු කර ඇති බවද ඔහු පැවසීය

“තම පවුලේ සිව් දෙනෙකුම බස්නායක නිලමේ තනතුරු දරූ අය බවත්, තමන් පස්ගම නාථදේවාලය හා මහනුවර කතරගම දේවාලය භාර බස්නායක නිලමේවරයා ලෙස සිදුකර ඇති සුවිසාල සේවාවන් කෙරෙහි පැහැදී ඇති මහාසංඝරත්නයත් රාජ්‍ය සේවයේ නිලධාරීනුත් තමන්ට මෙවර දියවඩන නිලමේ තනතුරට ඉදිරිපත් වන්නැයි යෝජනා කළ බවත් දමින්ද බණ්ඩාර උඩුරාවණ සඳහන් කරන්නේය.

මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායකයන් ද මෙවර දියවඩන නිලමේ ධුරය අපේක්ෂාවෙන් ඒ සඳහා කටයුතු කරන අයෙකි. මාතලේ අම්බොක්ක දේවාලය හා ඇම්බැක්ක කතරගම දේවාලය යන දේවාලයන් හි වසර 17ක් බස්නායක නිලමේ ලෙස කටයුතු කර ඇති ඔහු මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ ධුරයට පත්ව ඇත්තේ 2022 වර්ෂයේ දීය.“දියවඩන නිලමේ ධුරයේ කටයුතු කරන්න ලැබුණොත් මෙරට බෞද්ධ ජනතාව වෙනුවෙන් සුවිසල් සේවාවක් කරන්න පුළුවන්. විශේෂයෙන් මෙරට අඩු ආදායම් ඇති පිටිසර විහාරස්ථාන නඟාසිටුවා රට තුළ අලු‍ත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න පුළුවන්. ඒ සඳහා මට කැප වෙන්න පුළුවන්. ඒ අනුවයි මම මෙවර දියවඩන නිලමේ ධුරයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ” යැයි සරත් බණ්ඩාරනායක සඳහන් කරන්නේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යා  උපාධියක් ලබාගෙන ඇති ඔහු රැකියාවක් නොකර පරම්පරාගත නිලමේ ධුරයේ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන තිලක් සඳරුවන් සුබසිංහයන් ද මෙවර දියවඩන නිලමේ ධුරයට ඉදිරිපත්ව සිටින්නේය“මම මහාචාර්යවරයෙක් විදියට මේ දියවඩන නිලමේ තනතුරට ඉදිරි පත් වුණේ දිගු කාලයක් බෞද්ධ ධර්මය පිළිබඳව පර්‌යේෂණ කර අවබෝධ කරගත් බෞද්ධ ධර්මයේ ඇති පාලන කළමනාකරණ මූලධර්ම ලෝකයේ සියලු‍ ජනතාවගේ සතුට හා සෞභාග්‍ය වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි තනතුරක් නිසයි. මම වසර පහක් බුදුන් දේශනා කළ සූත්‍ර පිටකයත් විනය පිටකයත් අධ්‍යයනය කළා. ඒ අනුව බුදුන් වදාළ පාලන කළමනාකරණ මූලධර්ම හරහා ලෝකවාසී ජනතාවගේ සතුට සෞභාග්‍ය උදාකර ගන්න පුළුවන්. ඒ අවබෝධය ලෝකයට දිය හැකි හොඳම තැන හා සුදුසුම තැන ශ්‍රී දළදා මාලිගාව පමණයි. ඒ අනුව එහි භාරකාරත්වය ලබාගෙන බුද්ධ ධර්මයේ සඳහන් පාලන කළමනාකරණ මූලධර්ම ලෝකය පුරා ප්‍රචලිත කර ජනතාවගේ සතුට, සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කිරීම තමයි මගේ අරමුණ වී තිබෙන්නේ” යැයි ඔහු සඳහන් කෙළේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ සෝනුත්තර රාජ මහ විහාරයේ හා සතර මහ දේවාල භාරකාර මහ නිලමේ ලෙස කටයුතු කරන පී.එම්. රෝෂාන් ප්‍රියදර්ශනයන් ද මෙවර දියවඩන නිලමේ ධුරය අපේක්ෂාවෙන් කටයුතු කරන අයෙකි. “ඇත්තටම මෙරට බෞද්ධ පුනරුදයක් ඇති කරන්න පුළුවන් ස්ථානය ශ්‍රී  දළදා මාලිගාවයි. මෙරට නොදියුණු විහාර හා පිරිවෙන් දියුණු කරන්න විදෙස් දානපතීන් සම්බන්ධ කර ගෙන කැපකරු මාපිය ක්‍රමයක් හදන්න පුළුවන්. විශේෂයෙන් පිරිවෙන්වල ඉගෙන ගන්න බොහෝ ස්වාමින්වහන්සේලාට ආර්ථික ප්‍රශ්න තිබෙනවා. මේ නිසා සමහර පොඩි හාමුදුරුවරු සිවුරු හැර යනවා. මේ තත්ත්වය වළක්වා ගන්නත් කැපකරු මාපිය ක්‍රමයක් හදන්න පුළුවන්. ඒ සඳහා සුදුසු තැන ශ්‍රී  දළදා මාලිගාවයි. ඒ නිසයි එහි භාරකාරිත්වය ලබා ගන්න මම ඉදිරිපත් වෙන්නේ.” යැයි රෝෂාන් සඳහන් කරන්නේය.

මේ අනුව මෙවර දියවඩන නිලමේ තනතුර බැලූ බැල්මට උණුසුම් වනු ඇතැයි සිතිය හැකිය. එහෙත් එය තීරණය වන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් දියවඩන නිලමේ පත්කර ගැනීම සඳහා කැඳවන රැස්වීමට සහභාගි වන ප්‍රමාණය හා එහි දී දියවඩන නිලමේ තනතුර සඳහා යෝජනා ස්ථිර කරන නම් අනුව ය.

ගම්පොළ - සුරංග රාජනායක