ට්‍රම්ප් බද්ද අවසානය ජයග්‍රහණයක්ද


අවසානයේ ආධුනික, අත්දැකිම් අඩු යැයි කියන වර්තමාන රජය ඇමරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ”‍මචන්”‍ නොකියාම, අදාළ පාර්ශව සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් අපේ රටට සුබවාදී වන ලෙස තීරුබදු ප්‍රශ්නය විසඳාගත්තේය. විපක්ෂයේ යම් පිරිසකගේ අදහස වූයේ මෙය වර්තමාන රජයට විසඳාගැනීමට තරම් රාජතාන්ත්‍රික දූත පිරිසක් හා එයට අදාළ ශක්තිමත් රාජ්‍ය සබඳතාවක් ධවල මන්දිරය සමග මෙම රජය ගොඩනගා ගෙන නොමැති බවයි. සූම් තාක්ෂණය ඔස්සේ කතා නොකර, ඇමැරිකාවට ගොස් ඉන්දියාව මෙන් මෙම සාකච්ඡා කළ යුතු බව වැනි සරළ ගැලරි තර්ක ගෙන එමින් කළ උපහාස අපහාසවලට අවසානයේ ‍මේ ආධුනික රජය නිසි පිළිතුරු ලබාදී ඇත.

ට්‍රම්ගේ බර පෑන

2025 අප්‍රේල් 2 වැනි දින, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු සතු බර පෑනෙන්, තම දිගු අත්සන යොදමින්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70 කට අධික සංඛ්‍යාවකට මෙම තීරුබදු ප්‍රතිපත්තිය හඳුන්වාදුන්නේය. ඔහු හොඳ ව්‍යාපාරිකයෙක් වගේම, ඇමෙරිකානුවන් වෙනුවෙන් පෙනීසිටින නායකයෙකි. ව්‍යාපාර කටයුතුවලදී, ආදරය කරුණාව, දයාවට වඩා වැඩි වටිනාකමක් දෙන්නේ තම ලාබය සඳහාය. මේ අනුවම කටයුතු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍‍ හිතවත්කම් බැඳීම් අමතක කරමින් තම රටට කරන වෙළෙඳ අසාධාරණයට විරුද්ධව ඔහුගේ සියලු‍‍ හිතවාදීනට විරුද්ධව තම පෑන පාවිච්චි කළේය. ඉන්දියාවේ අගමැති මෝදි මෙන්ම ඉහළ පෙළේ රාජ්‍යත්‍රාන්තික දූත පිරිසක් ඇමරිකාවට ගොස් සාකච්ඡා පැවත්වුවද අවසානයේ ට්‍රම්ප් ඉන්දියාවටද කිසිදු අනුකම්පාවකින් තොරව සියයට 25ක තීරුබද්දක් පැනවූයේය. එසේ පැනවීමෙන් අනතුරුව ඉන්දියාවට අනතුරු ඇඟවීමක්ද කරමින් ඉන්දියාව රුසියාව පොහොසත් කරන බවට චෝදනා කරමින් තවත් අතිරේක බද්දකටත් මුහුණදීමට සිදුවන බවට අනතුරු ඇඟවීය. ඒ ට්‍රම්ගේ හැටිය.රාජ්‍ය නිර්භාදවාදය, ජාත්‍යන්තර වෙළෙඳ නිදහස ඉහළින්ම පිළිගත් ඇමරිකානු ජනාධිපතිවරයාට අවසානයේ ඔහුගේ පෑනින්ම ජාත්‍යන්තර වෙළෙඳාම සීමා කිරීම් හා පාලනය කිරීම් සඳහා අත්සන් තැබීමට සිදුවීම දෛවයේ සරදමකි.

ඇමෙරිකාවට වැරදුණු තැන

ඇමරිකාව පසුගිය දශක තුනක කාලය තුළ, අඩු ආකාලිත වටිනාකමක් සහිත භාණ්ඩ නිෂ්පාදනයෙන් ක්‍රමිකව ඉවත් වී, වැඩි ආකලිත වටිනාකමක් බර සහිත නිෂ්පාදන සඳහා පමණක් අවධානය යොමු කරමින් ජාත්‍යන්තර වෙළෙඳාමේ සාපේක්ෂවාසි න්‍යායට අනුගත වෙමින් වෙළෙඳාම් කිරීමේ ප්‍රතිළඵල ඔවුන් අද අත්විදිමින් සිටී. ඇමරිකානුවන්ගේ පාරිභෝගික වරණය ගැන අඩු අවධානයක් යොමුකිරීමත් ආකාලිත වටිනාකමට පමණක්ම අවධානය යොමු කිරීමත් මෙයට හේතු විය. කෙසේ හෝ ඇමෙරිකානුවන්ගේ වරණය මනාව වටහා ගත්, ආසියාතික රාජ්‍ය, ඇමරිකාව විසින් අත් හරින ලද නිෂ්පාදන තම අණසකට ගත් අතර ඒවා නිෂ්පාදනය කර, ඇමරිකාවට අපනයනය කිරීමෙන් වැඩි වාසි අත්පත් කර ගත්තේය. මෙහි ප්‍රතිඵලය වූයේ චීනය, ජපානය, ඉන්දියාව, වියට්නාමය, තායිවානය, තායිලන්තය, මැලෙසියාව, බංගලදේශය, මැලේසියාව ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කීපයක් ඇමරිකාව සමග කරන වෙළෙඳ ගනුදෙනුවලින් වාසි අත්පත් කර ගැනීමයි. 

කොටින්ම මෙම රටවල්, ඇමරිකාවට අපනයනය කිරීමෙන් ලබන ආදායමට වඩා අඩු මූල්‍ය වටිනාකමක් සහිත් භාණ්ඩ ඇමරිකාවෙන් ආනයන කිරීමයි. මේ නිසාම මේ සෑම රටකම වෙළෙඳ ශේෂයේ ඇමරිකාවට සාපෙක්ෂව අතිරික්තයක් හෙවත් ධනාත්මක තත්වයක් පෙන්නුම් කළේය. මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන්නේ මෙම රටවල් විසින් ඇමෙරිකාව වෙළෙඳාමෙන් සුරා කන බවයි. නැතහොත් ‘අසාධාරණ වෙළෙඳ පිළිවෙතක්’ මෙම රටවල් අනුගමනය කරන බවයි. උදාහරණයක් ලෙස ගතහොත්, ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ආනයනය කරන්නේ වසරකට ඇ.ඩොලර් මිලියන 400ක් වටිනා භාණ්ඩ වුවත් අප එරටට අපනයනය කරමින් වසරකට දළ වශයෙන් ඇ.ඩොලර් බිලියන 3ක් උපයා ගනී. මේ නිසා අප ඔවුන්ගේ වෙළෙඳ හිගයට කරන දායකත්වය වසරක ඩොලර් බිලියන 2.6කි. මේ ආකාරයටම අනිකුත් ආසියාතික රටවල්ද ඇමෙරිකාවේ වාර්ෂිකව ඇතිවන වෙළෙඳ හිඟයට එනම්, භාණ්ඩවලින් පමණ ඇතිකරන ඩොලර් මිලියන 1200 ට වගකියයුතු බව ඔවුන්ගේ අදහසයි. ලංකාව ඔවුන්ගේ මෙම භාණ්ඩ වෙළෙඳ හිඟයට කරන බලපෑම සියයට 0.2ක් වුවද ඔවුන් ආරම්භයේ අපටද ප්‍රතිචාර දැක්වූයේ සියයට 44ක දරාගත නොහැකි තීරුබද්දක් පැනවීමෙනි. 

චීනය සමග 2024 සිදුකළ භාණ්ඩ ආනයන අපනයන ක්‍රියාවලියෙන් ඇමැරිකාව ඩොලර් බිලියන 295.5ක හිඟයක් ද, ඉන්දියාව සමග කළ වෙළෙඳ ගනු දෙනුවලින් තවත් ඩොලර් බිලියන 45ක්ද, වියට්නාමය සමග ඩොලර් බිලියන 123.5ක්ද අත්පත් කර ගත්තේය. මැලේසියාව සමග සිදුකළ භාණ්ඩ වෙළෙඳ ගනුදෙනුවලින් ඇමෙරිකාව තවත් ඩොලර් බිලියන 24.8 කින් වෙළෙඳ ශේෂය වැඩිකර ගත්තේය. බංගලාදේශය සමග කළ භාණ්ඩ ගනුදෙනුවල අවාසිය 2024 වසරේ ඇ.ඩොලර් බිලියන 6.2කි.

ට්‍රම්ප්ගේ තීරුබද්ද අවසානයේ සියයට 20ක නතර වූයේ රාජ්‍යත්‍රාන්තික ලෙස ඇමරිකාව සමග ඇතිකරගත් එකඟතා හා කතාබහ නිසා මිස වෙන කිසිවකින් නොවේ. මේ නිසා මෙය ඇත්තටම රටක් ලෙස අප ලබාගත් ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය අත්පත් කරදීමට වෙහෙසුනු සැමට අපගේ ප්‍රණාමය පුදකළ යුතුය. මෙහිදි වඩාත් වැදගත් වෙන්නේ අපත් සමග තරගකරන රාජ්‍යවලට පැනවු තීරු බදු සහ අපගේ තීරුබදු අතර තුළනාත්මක විශ්ලේෂණයයි

මේ සියලු‍‍ රටවල් සමග සිදුකළ වෙළෙඳ ගනුදෙනුවලදී පසුගිය වසරට වඩා ඇමැරිකාව අත්පත් කරගෙන තිබුණේ වෙළෙඳ අවාසියකි. මේ නිසා ඇමෙරිකානුවන්ට ආදරය කරන ජනාධිපතිවරයාගේ අරමුණ වූයේ තම රටට වැරදුනු මෙම වෙළෙඳ ක්‍රියාවලිය නිවැරදි කිරීමයි. මේ සමගම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ හිස මත දැවන්ත ණය කන්දරාවක් පැටවී ඇත. අදවනවිට ඇමෙරිකාව ඩොලර් බිලියන 37,000ක ණය කරුවෙක් වන අතර සෑම ඇමෙරිකානුවෙක්ම ඩොලර් 108,167ක් ගෙවීමට ඇත. මෙය ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 123කි. මෙය 2050 වනවිට සියයට 155 දක්වා වැඩිවනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඇමෙරිකාවට මේ හිඟ දෙකම කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය විය. මෙය විසඳීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු කාලය තුළ යම් උත්සාහයක් ගත්තද එය ක්‍රියාත්මක නොවුයේ ඔහු දෙවැනි වර පරාජය වීම නිසාය. කෙසේ හෝ මෙවර තම මැතිවරණ ප්‍රතිපත්ති මාලාවට මෙය ඉදිරිපත් කරමින් ඒ සඳහා ජනවරමක් සහිතව දැන් ඔහු මෙය ක්‍රියාත්මක කර ඇත.

බලපෑම් කළ හැකි රාජ්‍යයක්ද?

2024 වසරේ අපගේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 13.1කි. මෙම ආදායමින් ඩොලර් බිලියන 3.3ක් උපයාගෙන ඇත්තේ ඇමෙරිකාවට අපනයන කිරීමෙනි. කෙටියෙන් කිවහොත් අප උපයන සෑම අපනයන ඩොලර් 4කින් එක් ඩොලරයක් අපට ලැබෙන්නේ ඇමෙරිකාවෙනි. එසේ නම් අපට ඇමෙරිකාව හා ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කුමන හෝ වෙළෙඳ උපාය මාර්ගයක ක්‍රියාවක ප්‍රතිඵල අකැමැත්තෙන් වුවත් දරාගැනීමට සිදුවනු ඇත. තවද අපගේ අපනයන අදායමින් ඩොලර් බිලියන 5.9ක් උපයාගෙන ඇත්තේ ඇඟලු‍‍ම් අපනයනය කිරීමෙනි. මෙම ඩොලර් බිලියන 5.9න්, හරි අඩකට වඩා අප උපයා ගන්නේ ඇමෙරිකාවට අපනයනය කිරීමෙනි. මේ නිසා අපට ඇමෙරිකාවට මේ අවස්ථාවේ බලපෑම් කළ නොහැක. 

වසරකට ඇ. ඩොලර් බිලියන 29,000 දළ දේශීය නිෂ්පාදනයක් ඇති ඇමෙරිකාවට වසරකට ඇ.ඩොලර් බිලියන 90ක් උපයන අප වැනි රටකට වෙළෙඳාම පැත්තෙන් කළ හැකි බලපෑම තේරුම් ගත යුතුය. එසේම ඇමෙරිකානු ආනයන ඇගලු‍‍ම් වෙළෙඳපොළේ අපගේ අපනයනවල සමස්ත වටිනාකමේ ප්‍රතිශතය සියයට 1.8ක් තරම් කුඩා ප්‍රමාණයකි. අප දැනට ඇමෙරිකානු ඇඟලු‍‍ම් ආනයන වෙළෙදපොළේ 8 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. මෙම තීරුබදු හඳුන්වාදීමට පෙර ඇමෙරිකානු ඇඟලු‍‍ම් වෙළෙඳපොළෙන් සියයට 21.2ක්ම අත්පත් කරගෙන තිබුණේ චීනය විසිනි. වියට්නාමය සියයට 18.5ක ප්‍රතිශතයක් ගෙන දෙවැනි තැනද, බංගලාදේශය සියයට 8.9ක ප්‍රතිශතයක් ගෙන තුන්වැනි තැනද ගෙන තිබුණි. මේ නිසා අපගේ කුඩා ප්‍රතිශතය පදනම් කරගනිමින් අපට බලපෑම් කළ නොහැක. 

කෙටිකාලීන විකල්ප කවරේද?

ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ශුන්‍ය තීරුබදු අනුපාත ක්‍රියාත්මක කළ හැකිද යන්න ඇතැම් අය ප්‍රශ්න කරති. වඩාත්ම ප්‍රසාදිත ජාතික මූලධර්මය පදනම් කර ගනිමින් ලෝක වෙළෙඳ සංවිධානය සමග ගිවිසුම් ගතව ඇති ශ්‍රී ලංකාව වරණීය වෙළෙඳ ගිවිසුම් යටතේ එක් සාමාජිකයකුට ලබාදෙන ඕනෑම තීරුබදු සහනයක් අනෙක් රටවලටද ලබා දිය යුතුය. මේ නිසා මේ කොන්දේසි කඩ කිරීමෙන් තවත් අනවශ්‍ය පීඩනයක් ඇති කර ගැනීම මේ වෙලාවේ සිදු නොකළ යුතුය. මෙහිදී ශ්‍රී ලංකාව කළ යුතු හොඳම ක්‍රියාවලිය වර්තමාන රජය විසින් සිදුකරමින් පවතී. එනම් දෙරට අතර ද්විපාර්ශවික වෙළෙඳ පරතරය හැකිතාක් අඩුකර ගැනීම සඳහා ඇමෙරිකාවෙන් අප ආනයනය කරන භාණ්ඩ පැස තව දුරටත් පුළුල් කිරීමයි. ඒ සඳහා හොඳම විසඳුමක් ලෙස බොර තෙල් ආනයනයට ඇමෙරිකාව පැත්තට යොමුවීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතී. 

2024 වසරේ අප බොර තෙල් ආනයනය සඳහා ඇ. ඩොලර් බිලියන 2.2ක් පමණ වැයකළ අතර එයින් වැඩි කොටසක් කුවේට් රාජ්‍යයෙන් සහ රුසියාවෙන් ආනයනය කරයි. 2024 වසරේ අප කුවේට් රාජ්‍යයෙන් ආනයනය කළ බොර තෙල්වල වටිනාකම ඇ. ඩොලර් මිලියන 841කි. සිංගප්පූරුවෙන් තවත් ඩොලර් මිලියන 840ක බොර තෙල් ආනයනය කර ඇත. ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 471ක් වටිනා තෙල් ආනයනය කර ඇති අතර රුසියාවෙන් ආනයන කර ඇති ප්‍රමාණයේ වටිනාකම ඇ. ඩොලර් මිලියන 80.1කි. මේ අනුව අප ඇමෙරිකාව දැනට කරගෙන යන වෙළෙඳ ක්‍රියාවලියෙන් ඇමෙරිකාවට ඇතිවන වෙළෙඳ හිඟයේ බලපෑම වන ඇ. ඩොලර් බිලියන 2.5 හිඟය පියවා ගැනීමට නම් තෙල් ආනයනය සම්පූර්ණයෙන් ඇමෙරිකාව සමග සිදුකළ යුතුය. එසේ කිරීමෙන් අපට අත්වන ආර්ථික වාසිය පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සිදුකළ යුතුව ඇත. අපට මේ තුළින් වන අහිමිනීම්වල කෙටිකාලීන හා දිගුකාලීන වටිනාකම් ගණනය කළ යුතුව ඇත. මීට අමතරව මෙම වෙළෙඳ පරතරය අඩුකර ගැනීම සඳහා ද්‍රව ස්වාභාවික වායු, මුහුදු හා ජලජ ආශ්‍රිත නිෂ්පාදන, සත්ව ආහාර, තෝරාගත් වෙනත් කාර්මික භාණ්ඩ පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇත. කෙසේ වෙතත්, මේවා ඇමෙරිකාවෙන් ආනයනය කිරීමේදී අපට ඇතිවන ප්‍රධාන අභියෝගය වන්නේ ඒවායේ මිල මට්ටම්ය. දනට මේම භාණ්ඩවලට විශේෂීකරණය වී ඇති චීනය, තායිවානය, ඉන්දියාව ඇතුළු රටවල අඩු පිරිවැය නිසාම එවායේ සාපේක්ෂවාසිය මේ වනවට එම රටවල් අත්පත් කරගෙන ඇත.

දිගුකාලීන උපායමාර්ග කවරේද?

රටවල් කීපයක් මත අපගේ අපනයන ආදායම රඳාපැවැත්ම දිගුකාලීනව තුළනය කර ගත යුතුව ඇත. මේ වනවට අපට එක්සත් ජනපදයෙන් යම් සුබවාදී තීරුබදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත්කර ඇත. ඔවුන්ගේ බදු අනුපාතය යටතේ උපරිම වාසි අත්පත් කර ගැනීමට අවශ්‍ය පදනම සකසා ගත යුතුය. එම තීරුබදු අනුපාතය අපට පමණක් නොව අපගේ ප්‍රධාන තරග කරුවන්ටද හිමිවී ඇති බැවින් අපගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි කීරීම සඳහ උපරිම කැපකිරීම කළ යුතුය. අපට අවේනික නිෂ්පාදනවල කීර්තිනාමය තව දුරටත් වැඩිකර ගැනීම සඳහා උපරිම ශක්තිය යෙදිය යුතුය. දැනට අපගේ ඇඟලු‍‍ම් කර්මාන්තය ගතහොත් ඒ තුළින් වසරකට ඩොලර් බිලියන 5ක් උපයන විට ඉන් ඩොලර් බිලියන 3ක්ම වැය වන්නේ ඇඟලු‍‍ම් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහාය. මේ නිසාම මෙරට ඇඟලු‍‍ම් නිශ්පාදනයේ පිරිවැය ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනවලට සමගාමීව වෙනස් වේ. දිගුකාලීනව මෙය වෙනස් කරගත යුතුව ඇත. 
ඉන්දියාවේ ඇඟලු‍‍ම් කර්මාන්තය සමස්ත ක්‍රියාවලියකි. ඔවුන් කපු නිෂ්පාදනයේ සිට පියවරෙන් පියවර සියලු‍‍ අමුද්‍රව්‍ය දේශීයව නිෂ්පාදනය කරමින් එම කර්මාන්තය ගොඩ නගා ඇත. ඒ නිසාම බාහිර කම්පනවලින් ආරක්ෂාවී ඇත. මේ හේතුව නිසාම ඇමරිකාව සියයට 25ක තීරුබදු අනුපාතයක් ඉන්දියාවට පැනවුවද ඔවුන් අනෙකුත් තරගකාරී රාජ්‍ය සමග පහසුවෙන් තරග කළ හැක. දිගුකාලීනව අපනයන විවිධාංගීකරණය අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ආකලිත වැඩිවන නව නිෂ්පාදන කෙරේ නැඹුරු විය යුතුය.

අවසානය ජයග්‍රහණයක්ද?

සියයට 44න් ආරම්භ කෙරුණු ට්‍රම්ප්ගේ තීරුබද්ද අවසානයේ සියයට 20ක නතර වූයේ රාජ්‍යත්‍රාන්තික ලෙස ඇමරිකාව සමග ඇතිකරගත් එකඟතා හා කතාබහ නිසා මිස වෙන කිසිවකින් නොවේ. මේ නිසා මෙය ඇත්තටම රටක් ලෙස අප ලබාගත් ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය අත්පත් කරදීමට වෙහෙසුනු සැමට අපගේ ප්‍රණාමය පුදකළ යුතුය. මෙහිදි වඩාත් වැදගත් වෙන්නේ අපත් සමග තරගකරන රාජ්‍යවලට පැනවු තීරු බදු සහ අපගේ තීරුබදු අතර තුළනාත්මක විශ්ලේෂණයයි. දැනට අපට පනවා ඇති සියයට 20ක හොඳ තරගයක් දීමට හැකි තීරුබදු අනුපාතයකි. මේ නිසා තරඟයෙන් ජයග්‍රගණය කීරීමට අවශ්‍ය පදනම ඇමෙරිකන් ජනාධිපතිවරයා විසින් අපට ඉලක්කයක් ලෙස දී ඇත. මෙය අවසානය නොවන අතර අප මෙම වෙළෙඳ යුද්ධය නිසැකවම ජය ගත යුතුව ඇත. ඒ සඳහා විකල්ප උපාය මාර්ගවලට අප යා යුතුව ඇත. අප සමග තරගකරන අනෙකුත් රාජ්‍ය වන, චීනයට, ඉන්දියාවට, වියට්නාමයට, මැලේසියාවට, නොමැති ආර්ථික හා සමාජීය අභියෝග රැසක් අපට ඇත. අප 2028 වනවිට විදෙස් ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතුව ඇත. සෑම වසරකටම අවම වශ‍යෙන් ඇ. ඩොලර් බිලියන 3.5ක ණය ගෙවීමක් සිදුකළ යුතුව ඇත. මේ සඳහා 2025 අවසාන වනවිට ඇ. ඩොලර් බිලියන 7 දක්වා විදෙස් සංචිත වැඩි කළ යුතුව ඇත. මෙය 2026 අවසානයේ ඇ.ඩොලර් බිලියන 9ක්ද, 2027, ඩොලර් බිලියන 12ක් ද, 2028 ඩොලර් බිලියන 15ක් ද විය යුතුය. දේශීය බදුවලින් කොතරම් රුපියල් ඉපයිය හැකි වුවත් ඩොලර් ඉපැයීමට ඇති ප්‍රධාන මූලාශය විදේශ වෙළෙඳාමයි. ඒ සඳහා කළ හැකි සියලු‍‍ උපාය මාර්ග රජය විසින් අනුගමනය කළ යුතුව ඇත. විශේෂයෙන් අපගේ අපනයන ආදායම් ඉලක්ක සපුරා ගැනීමට කෙටි කාලීනව ට්‍රම්ප්ගේ තීරුබදුවලට අනුගත වෙමින් ක්‍රියා කළ යුතුය. 2020 වන විට අපනයන ආදායම රුපියල් බිලියන 40 දක්වා වැඩිකර ගැනීමේ උපාය මාර්ග සඳහා රජය ඇමෙරිකාවත් සමග කළ මේ ගනුදෙනුව වඩාත් වැදගත් වනු ඇත.