කොළපතින් සල්ලි හොයන කර්මාන්තයක්


සඳලංකාව හේමලතා ඩී.හේවගේ
වර්තමානය වන විට කාන්තාවන්ද ව්‍යාපාරික ලෝකය ජයගත් අවස්ථා අප බොහෝ විට අසා ඇත. දේශීය වෙළෙඳපොළට ඔවුන්ගේ මෙම නිෂ්පාදන අලෙවි කිරීමෙන් ලංකා රුපියල්ද, විදේශීය වෙළෙඳපොළට අපනයනය කිරීමෙන් ඩොලර් උපයා ගන්නා පිරිසක්ද ඒ අතර වෙති. ඇතැම් කාන්තාවන් පරිසරයෙන් සොයා ගන්නා විවිධ අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කර මුදල් උපයා ගන්නා අවස්ථාද ඉතා කලාතුරකින් වුවද දැකගැනීමට හැකියාව ඇත.
දඹදෙණිය දැතවගම ගම්මානයේ පදිංචි ගීතා කුමුදිනී පතිරණ මහත්මියද පරිසරයෙන් සොයා ගන්නා විවිධ අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ රැසක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන එවැනි ව්‍යවසායිකාවකි.
කොළපත් (පුවක් අතු) වලට ඉහළ වටිනාකමක් එක් කිරීමට ගීතා මහත්මියට හැකියාව ලැබී ඇත. අප බොහෝවිට දැක ඇත්තේ මෙම කොළපත් ගස් යට වැටී දිරා පත්වීම හා වර්ෂාව පවතින අවස්ථාවලදී මදුරුවන් බෝවෙන දර්ශනයන් පමණි. එහෙත් ගීතා මහත්මිය එම සියලු‍ම අවස්ථා මඟහරවමින් කොළපත් මුදල් ඉපයීමේ මාර්ගයක් බවට පත් කරගෙන ඇත.
ගීතා මහත්මිය මෙම ව්‍යාපාරයට අවතීර්ණ වූ ආකාරය පිළිබඳව මෙසේ පැවසුවාය.
මම පාසල් අධ්‍යාපනය අවසන් කරලා ඇඟලු‍ම් කර්මාන්තශාලාවක රැකියාවට ගියා. එහෙත් විවාහයත් සමඟ මට දීර්ඝකාලීනව එම රැකියාවේ නිරත වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. නිවසේ රැඳී සිටින කාලය තුළ කුමන හෝ දෑතේ කර්මාන්තයක් පිළිබඳව පුහුණුවක් ලැබීමේ ආශාවක් මට තිබුණා. ජාතික ශිල්ප සභාවට සම්බන්ධ වෙලා පන් වලින් විවිධ භාණ්ඩ නිර්මාණය කරන ආකාරය පිළිබඳව පුහුණුවක් ලැබුවා. පසුව මම පන්වලින්, තල කොළ වලින්, වේවැල්, ඉරටු වැනි ලොකු මුදලක් වැය නොකර පරිසරයෙන් සොයා ගැනීමට හැකි බොහෝ ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් භාණ්ඩ වර්ග ගොඩක් නිෂ්පාදනය කළා. ඒවට හොඳ මිලක් වගේම ඉල්ලු‍මකුත් තිබුණා.
පසුව තමයි කොළපත් වලින් භාණ්ඩ හදන්න මට අවස්ථාව ලැබුණේ. මුලින්ම කුඩාවට අතින් හදන (මැනුවල්) මැෂින් එකකින් විවිධ භාණ්ඩ හැදුවා. වෙළෙඳපොළේ ඒවට හොඳ ඉල්ලු‍මක් තිබුණා. පාස්කු ප්‍රහාරය සහ කොරෝනා ව්‍යසනයත් සමග ව්‍යාපාරය පාඩු ලබන තත්වයට පත්වුණා. කඩා වැටුණ ව්‍යාපාරය නැවත ගොඩ ගන්නේ කොහොමද කියලා සිතමින් ඉන්න අවස්ථාවේ මට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මුදලක් ලැබුණා. උත්සාහය අත් නොහැර හිටිය මට ඒ මුදල විශාල පිටුවහලක් වුණා මගේ ව්‍යාපාරය දියුණු කර ගන්න. අද වෙද්දි මම මේ කොළපත් වලින් හදන භාණ්ඩ අලෙවි කිරීමෙන් මුදලක් උපයා ගන්නවා වගේම තවත් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීලා තියෙනවා.
දඹදෙණිය විතරක් නෙමෙයි අලව්ව ඊටත් එහා ප්‍රදේශවලින් මට කොළපත් ගෙනහැල්ලා දෙනවා. මම කොළපත් වලින් කෑම කන පිඟන්, ව්‍යංජන බෙදන දීසි, කෑම පෙට්ටි, ට්‍රේ, කේක් පෙට්ටි, ආපනශාලාවලට අවශ්‍ය භාණ්ඩ, වැනි නිෂ්පාදන රැසක් කරනවා. එයිට අමතරව ඉරටු වලින් වට්ටි, පෙට්ටි, මල් වාස්, පන් වලින් විදුලි බුබුළු ආවරණ, පොල් කටු වලින් විවිධ නිර්මාණ මෙවැනි අංශ රැසකින් නිෂ්පාදන බොහොමයක් සිදු කරනවා. මේ කිසිම දෙයකට කෙමිකල් වර්ගයක්, රසායන ද්‍රව්‍යයක් යොදන්නේ නැහැ. ශාක පත්‍ර වැනි පරිසර හිතකාමී ද්‍රව්‍ය තමයි භාවිත කරන්නේ. ප්ලාස්ටික්, පොලිතින් භාවිතය අපේ රටෙන් තුරන් කරන්න මෙවැනි නිෂ්පාදන ප්‍රචලිත කිරීමෙන් හැකියාව තිබෙනවා.
දේශීය වෙළෙඳපොළේ මගේ භාණ්ඩවලට හොඳ ඉල්ලු‍මක් තියෙනවා. මගේ එකම බලාපොරොත්තුව, හීනය තමයි විදේශීය වෙළෙඳපොළට මේ භාණ්ඩ අපනයනය කිරීම. ඒකට අවශ්‍ය සහයෝගය රජයෙන් ලබා දෙනවා නම් තවත් විශාල පිරිසකට රැකියා ලබාදීමට මට හැකියාව තියෙනවා. අද මම ඉන්න මේ තැනට එන්න විශාල පිරිසකගේ සහයෝගය මට ලැබුණා. විශේෂයෙන් ජාතික ශිල්ප සභාව, කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, වාණිජ මණ්ඩලය, සමෘද්ධි අංශය, වයඹ විශ්ව විද්‍යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් මට උදව් කළා. ඒ සෑම ආයතනයක්ම මම ස්තූති පූර්වකව සිහිපත් කරනවා.
මගේ සැමියා රෝහණ සමන් කුමාර, මව එන්.පී.ඇසිලින්, පියා එන්.පී.පියදාස පතිරණ, පුතාලා දෙන්නගෙනුත්, අසල්වාසීන්ගෙනුත් විශාල සහයෝගයක් මේ ව්‍යාපාරය දියුණු කරගන්න මට ලැබුණා. ඔවුන් දක්වපු දායකත්වය නිසා තමයි මෙම ව්‍යාපාරය මෙපමණ දුරක් ගෙන ඒමට මට හැකියාව ලැබුණේ.