Ninewells රෝහල සිය දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතිය ආරම්භ කරයි



 

  • ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය සේවයේ නව පරිච්ඡේදයක් 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණ මුල් කරගනිමින් Ninewells රෝහල විසින් සිය නවතම ගොඩනැගිලි සංකීර්ණය සඳහා පසුගිය දා මුල්ගල් තබන ලදී. මෙරට වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා තැබූ සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.

Ninewells රෝහලේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා රෝහලේ ප්‍රධාන පාර්ශවකරුවන්, හවුල්කරුවන් මෙන්ම කළමනාකාරීත්වය ද සහභාගී වූහ. කාන්තා හා ළමා රෝග පිළිබඳ ප්‍රතිකාර සඳහා මෙතෙක් Ninewells රෝහල කෙරෙහි තැබූ අපරිමිත විශ්වාසය තවදුරටත් පුළුල් කරමින්, සියලු‍ම ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අනාගතයට ගැළපෙන පූර්ණ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස Ninewells රෝහල පත් කිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයයි. ශල්‍ය වෛද්‍ය සේවා පුළුල් කිරීමට, රෝගී සත්කාරක කටයුතු වැඩිදියුණු කිරීමට සහ වර්ධනය වන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා නවීනතම වෛද්‍ය යටිතල පහසුකම් මේ හරහා හඳුන්වා දෙනු ලැබේ. මෙම ව්‍යාපෘතිය නවීන තාක්‍ෂණය සහ රෝගියාගේ සුවපහසුව මූලික කරගනිමින් නිර්මාණය කර ඇති අතර සායනික විශිෂ්ටත්වය පවත්වා ගැනීම මෙන්ම උසස් අත්දැකීමක් රෝගීන් වෙත පිරිනැමීම එහි ප්‍රධාන අභිප්‍රාය වේ.

Ninewells රෝහලේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විභාෂ් විජේරත්න මහතා මෙම අවස්ථාවට සම්බන්ධවෙමින් මෙසේ සඳහන් කළේය. ”‍මෙරට සෞඛ්‍ය සේවයේ අනාගතය පිළිබඳව අප සතු ඉදිරි දැක්ම මෙම මුල්ගල් තැබීමේ උත්සවය ඔස්සේ නියෝජනය කරනවා. ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ සේවා වෙත ප්‍රවේශ වන අවස්ථාවේදී ද අපගේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ, ඉහළම ප්‍රමිතියක් සමග රෝගීන් කේන්ද්‍ර කරගත් කාරුණික සේවාවක් සැපයීම පිළිබඳවයි.”‍

රෝගී සත්කාරක සේවාවේ නව මිණුමක් සනිටුහන් කරමින් නවෝත්පාදන ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමට Ninewells රෝහල ආරම්භයේ සිටම කටයුතු කර තිබේ. එම උරුමයන් මෙම නව ව්‍යාප්තිය හරහා තවදුරටත් සවිමත් කරන අතර, සුවිශේෂී වෛද්‍ය සේවා සැපයීම සඳහා නව අවස්ථා රැසක් විවෘත වනු ඇත.

මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුව Ninewells රෝහලේ රෝගී සත්කාරක අවස්ථා සහ පහසුකම් තවදුරටත් ඉහළ යනු ඇත.