
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ සාමාජිකයකු වන Alumex PLC මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද ‘FALCON E1’ මීළඟ පරම්පරාවේ විද්‍යුත් රේසිං මෝටර් රථය එළිදැක්වීමේ ‘Unleashed 2026’’ උළෙලෙහි නිල අමුද්‍රව්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.
මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ඉකුත්දා පැවැත්වූ මෙම උත්සවය, ශ්‍රී ලංකාවේ ඉංජිනේරු නවෝත්පාදන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. විශ්වවිද්‍යාලයේ Team Falcon Racing කණ්ඩායම විසින් දියුණු කරන ලද FALCON E1 රථය, උසස් ඉංජිනේරු සැලසුම්, නිරවද්‍ය නිෂ්පාදන ශිල්පීය ක්‍රම සහ නවීනතම විද්‍යුත් වාහන තාක්ෂණය භාවිතයෙන් මුල සිටම නිපදවන ලද නවතම විද්‍යුත් රේසිං රථයකි.
මෙම ව්‍යාපෘතියේ නිල අමුද්‍රව්‍ය අනුග්‍රාහකයා ලෙස Alumex සමාගම, වාහනයේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කිලෝ 650ක් පමණ බරැති ඇලුමිනියම් උපාංග ඇතුළු තීරණාත්මක අමුද්‍රව්‍ය සැපයීය. මීට අමතරව, ධාවන තත්ව යටතේ අවශ්‍ය වන ව්‍යුහාත්මක අඛණ්ඩතාව පවත්වා ගනිමින් වාහනයේ බරට සාපේක්ෂව බලය වැඩි කිරීම සඳහා, යන්ත්‍රගත කරන ලද උපාංග සඳහා විශේෂිත ඇනෝඩයිසින් සේවා ද සමාගම විසින් සපයන ලදී.
ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ඉංජිනේරු නවෝත්පාදන පද්ධතියට අඛණ්ඩව සහයෝගය දක්වන Alumex සමාගම, මෙරට විද්‍යුත් රේසිං වාහන නිෂ්පාදනය සඳහා සහය දැක්වූ අඛණ්ඩ තෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Falcon Racing කණ්ඩායමට සහ FALCON E1 රථයට සහයෝගය දැක්වීමෙන් පිළිබිඹු වන්නේ මීළඟ පරම්පරාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සවිබල ගැන්වීමට Alumex සතු කැපවීමයි. නවෝත්පාදන බිහිවන්නේ නිර්භීත අදහස් සහ ඒවා යථාර්ථයක් බවට පත්කිරීමට ඇති ධෛර්යය මත බව අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකාවට ගෝලීය ඉංජිනේරු වේදිකාවල තරග කිරීමේ හැකියාව සහ දක්ෂතාව ඇති බව මෙම තරුණ නවෝත්පාදකයන් ඔප්පු කර තිබෙනවා.”
උසස් තත්වයේ ඇලුමිනියම් අමුද්‍රව්‍ය සහ තාක්ෂණික සේවා සැපයීම හරහා, වාහනයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය නිරවද්‍ය උපාංග නිෂ්පාදනය කිරීමට Falcon Racing කණ්ඩායමට Alumex වෙතින් විශාල දායකත්වයක් ලැබුණි. මෙම වාහනය මේ වසරේ අගභාගයේ දී ස්පාඤ්ඤයේ ‘Circuit de Barcelona-Catalunya’ ෆෝමියුලා 1 ධාවන පථයේ පැවැත්වීමට නියමිත ලෝක ප්‍රකට Formula Student Spain (FSS) තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය.

