
“තිරසාර රැකියා සඳහා තාක්ෂණික නිපුණතාවය” යන තේමාව යටතේ AAT ශ්‍රී ලංකා ආයතනය සිය 2025-2030 නව විෂය මාලාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය වෙනුවෙන් කැපවෙමින් හඳුන්වා දුන් මෙම නව විෂය මාලාව 2026 ජූලි මස පැවැත්වෙන AAT විභාගවල සිට ක්‍රියාත්මක වේ.
2020-2025 පැවති විෂය මාලාව වෙනුවට හඳුන්වා දුන් මෙම නව විෂය මාලාව, වෘත්තීය ගණකාධිකරණ අධ්‍යාපනයේ උපායමාර්ගික වෙනසක් සනිටුහන් කරයි. ලෝකයේ වේගයෙන් දියුණු වන තාක්ෂණය, තිරසාර වාර්තාකරණ ප්‍රමිති සහ ගෝලීය ගණකාධිකරණ අධ්‍යාපන ප්‍රමිතිවලට අනුකූල වන පරිදි මෙය ඉතා විධිමත්ව නිර්මාණය කර ඇත. මෙය සාමාන්‍ය විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමකට පුළුල් වූ වැඩපිළිවෙළක් වන අතර වේගයෙන් ඩිජිටල්කරණය වන ගෝලීය ආර්ථිකය තුළ ගණකාධිකරණ වෘත්තිකයන්ගේ භූමිකාව ශක්තිමත් කිරීමටත්, ඔවුන්ගේ වෘත්තීය අනාගතය සුරක්ෂිත කිරීමටත් AAT ශ්‍රී ලංකා ආයතනය දක්වන කැපවීම මෙයින් තහවුරු වේ.
ශ්‍රී ලංකාවේ ආයතනික ක්ෂේත්‍රයට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට (SME) අවශ්‍ය දක්ෂ ගණකාධිකරණ ශිල්පීන් බිහි කිරීමේ අරමුණින් 1987 වසරේ දී AAT ශ්‍රී ලංකා ආයතනය පිහිටුවන ලදී. එතැන් සිට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ගණකාධිකරණ හා ව්‍යාපාරික වෘත්තිකයන්ට මඟ පෙන්වන, දේශීය මෙන්ම ගෝලීය පිළිගැනීමක් සහිත ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් දක්වා එය වර්ධනය වී ඇත.
කෘතිම බුද්ධිය (AI), ස්වයංක්‍රීයකරණය (Automation), බ්ලොක්චේන් (Blockchain) තාක්ෂණය, ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති (ERP), සයිබර් ආරක්ෂණ අවදානම්, ව්‍යාපාරික දත්ත විශ්ලේෂණය (Business Analytics), ඩිජිටල් වාර්තාකරණය සහ තිරසාර වාර්තාකරණ ප්‍රමිති මගින් ගණකාධිකරණ ක්ෂේත්‍රය වෙනස් වන ආකාරය පිළිබඳව 2025-2030 AAT නව විෂය මාලාව විශේෂ අවධානයක් යොමු කරයි. ඩිජිටල් සාක්ෂරතාව, තිරසාර වාර්තාකරණය, සදාචාරාත්මක නායකත්වය සහ විශ්ලේෂණාත්මක හැකියාව පදනම් කරගත් මෙම නව විෂය මාලාව, තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාරික ලෝකයක ජයග්‍රහණය කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්පවලින් සිසුන් සන්නද්ධ කරයි. ‘‘තාක්ෂණික නිපුණතාවෙන් තිරසාර රැකියා අවස්ථා සහතික කිරීම” යන්න මෙම 2025-2030 නව විෂය මාලාව මගින් ලබා දෙන ප්‍රධානතම පොරොන්දුවයි.
ගණකාධිකරණය සහ මූල්‍ය, කාර්යසාධන විශ්ලේෂණය සහ කළමනාකරණය, නීතිය, බදුකරණය සහ විගණනය මෙන්ම ඩිජිටල් පරිවර්තනය සහ සන්නිවේදනය යන ප්‍රධාන අංශ හතරක් යටතේ මෙම නව විෂය මාලාව සකස් කර ඇත.
විෂයයන් දහතුනකින් (13) සමන්විත මෙය අදියර තුනක් යටතේ පවත්වනු ලැබේ. තවද උසස් පෙළ වාණිජ විෂය ධාරාවට අනුකූල වන පරිදි මෙම විෂය මාලාව සකස් කර ඇති බැවින් උසස් පෙළ වාණිජ්‍ය සිසුන් හට ඉතා ඉහළ සාමාර්ථ ලබා ගැනීමට මෙමගින් විශාල පන්නරයක් ලැබේ.
අධ්‍යයන කටයුතුවලට අමතරව ඩිජිටල් සේවා පරිසරයක් තුළ අධීක්ෂණය යටතේ සම්පූර්ණ කළ යුතු වසරක අනිවාර්ය වෘත්තීය පුහුණු වැඩසටහනක් ද මෙම සුදුසුකමට ඇතුළත් වේ. AAT විභාග සමත් වන සිසුන්ට AAT ශ්‍රී ලංකා ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් ලැබෙන අතර මෙමගින් විශ්ලේෂණාත්මක හැකියාවන්ගෙන් පිරි සහ ඩිජිටල් තාක්ෂණය පිළිබඳ මනා දැනුමක් සහිත වෘත්තිකයන් පිරිසක් නවීන රැකියා වෙළෙඳපොළට දායාද කෙරේ. මීට අමතරව, පුද්ගල කුසලතා සහ නායකත්ව හැකියාව වර්ධනය කිරීමේ විශේෂ විෂය මාලාවක් ද මෙයට ඇතුළත් කර ඇත.
නව විෂය මාලාව මගින් වෘත්තීය දියුණුව සහ වේගවත් වෘත්තීය ගමන් මගක් සහතික කරයි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka), CIMA, ACCA, CMA ශ්‍රී ලංකා, IPA ඕස්ට්‍රේලියාව, IFA එක්සත් රාජධානිය වැනි ප්‍රමුඛ පෙළේ වෘත්තීය ආයතන මෙන්ම දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල ද AAT සාමාජිකයන්ට සහ AAT සමත් වූවන්ට (ගිණුම්කරණය සහ ව්‍යාපාරික ඩිප්ලෝමාධාරීන්ට) විෂය නිදහස් කිරීම් ලබා දෙයි.
විශේෂයෙන්ම, මෙම නව ක්‍රමය යටතේ AAT සමත් වන සිසුන්ට CA Sri Lanka හි ‘Business Level’ හි තාක්ෂණික විෂයන් හතරම නිදහස් වන අතර, ‘Business Level’ හි Business Capstone (B CAP) සම්පූර්ණ කිරීමෙන් පසු සෘජුවම ‘Corporate Level’ වෙත පිවිසීමට අවස්ථාව හිමි වේ.

